2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත කාරක සභාව හෙවත් අය වැය තෙවන වර කියවා සංශෝදන සහිතව වැඩි ඡන්ද 93 න් සම්මත වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
අයට වැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 64ක් ක් හිමි විය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අය වැය තෙවනවර කියවීම සම්බන්දයෙන් ඡන්දයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර ඒ අනුව මෙම ඡන්දය පැවැත් වුනේය.
අදාල ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සංවිධානය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාද එහිදී අය වැයට විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.
අපේ ජන බලවේගය නියෝජනය කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කළහ.
මේ අතර 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අය වැය කථාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය 12දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
ඒ අනුව පසුගිය නොවැම්බර් 13 වැනිදා සිට නොවැම්බර් 22 වැනිදා දක්වා දින 07ක් අයවැය දෙවන වර කියවීම සඳහා වන පාර්ලිමේන්තුව විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබුනේය.
අනතුරුව පසුගිය 22 වැනිදා පැවති 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අය වැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 93න් පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එහිදී අය වැයට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 60ක් හිමි විය.
අයවැය තුන්වන වර කියවීම හේවත් කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය නොවැම්බර් 23 වැනිදා ආරම්භ වූ අතර අද( 10දා) දක්වා දින 16ක් එම විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබූනේය.