වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇත.
ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි යූ කේ ලොකුහෙට්ටි මහතාගේ අත්සනින් යුත් 2024.03.16 දිනැති ලිපියක් මගින් මෙම වැඩ තහනම් කිරීම සිදුකර තිබේ. අපකීර්තිදායක හැසිරීම, අණට අකිකරුවිම, රාජකාරි පැහැර හැරිම යන චෝදනා යටතේ මෙම වැඩ තහනම් කිරීම සිදුකරන ලද බවද එම ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.
මෙසේ වැඩ තහනම්කර ඇත්තේ පසුගිය 13 වන දින අම්බලන්ගොඩ පොලීසියේ වි පී එන් තොරතුරු ජාලය ක්‍රියාත්මක කිරීම භාරව කටයුතු කරන ලද කොස්තාපල්වරයාගේ සහ දුරකතන ක්‍රියාකරු ලෙස සේවය කරන ලද කොස්තාපල්වරයාගේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්දව්‍ය ජාවාරම්කරුවෙකු වන අම්බලන්ගොඩ, ඉඩන්තොට පදිංචි අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත (26) නොහොත් ‘සමන් කොල්ලා’ නමැති අයගේ නිවසට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතා දැනුවත් නොකිරීම හේතුවෙන් මෙම වැඩ තහනම් කිරීම සිදුකරන ලද බව එම ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.
වෙඩි තැබීම සම්බන්ධයෙන් ‘සමන් කොල්ලා’ ගේ නිවසින් අම්බලන්ගොඩ පොලීසියට ලබා දෙන ලද දුරකතන ඇමතුම් හා 119 දුරකතන අංකයට ලබාදෙන ලද දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට තොරතුරු ලබා නොදුන්නේය යන්න සම්බන්ධයෙන් මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ. ඉහත සිද්ධිය සම්බන්ධයෙන් මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා දැනුවත් නොකිරිම මත මෙම වැඩ තහනම සිදුකර ඇති බව දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලයද සනාථ කළේය.
ඉකුත් 14 දින අළුයම එල්ල කරන ලද මෙම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය, ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය හා ගාල්ල දිසා අපරාධ කොට්ඨාශය පරීක්ෂණ මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටී.