නව ආර්ථිකයක් ඇති කරමින් විදේශ විනිමය සිඟා නොකා අභිමානවත් රටක් ලෙස තුන්සිංහලය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙස ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (18දා) මාතර උයන්වත්ත ක්රීඩාංගණය,කළුතර,ගාල්ල,හෝමාගම සහ මැද කොළඹ පැවති “රනිල්ට පුළුවන්” අවසන් ජන රැලි අමතමිනි.
“පුළුවන් ශ්රී ලංකා” කියා එදා තමන් ආර්ථික අභියෝගයට මුහුණ දී එය ජයග්රහණය කළ බව පැවසු ජනාධිපතිවරයා අද “පුළුවන් ශ්රී ලංකා” කියා කියන්නේ රට දියුණු කිරීමට බව පැවසීය. ඒ අතර රට ඉදිරියට ගෙන යා හැකි නායකයෙක් තෝරා ගැනීමේ වගකීම ජනතාව සතු බවද අවධාරණය කළේය.
ජන රැලි ඇමතූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේද පැවසීය.“පසුගිය වසරෙ දෙකේදී අප හැම කෙනෙකුටම අලුත් අත්දැකීමක් ලැබුණා. ඔබ විශ්වාසය තැබූ නායකයන් මේ රටේ ප්රශ්නයට මුහුණදීමට නොහැකිව වගකීම් ප්රතික්ෂේප කර පැන ගියා.
එවන් තත්ත්වයක තිබූ රටක් මම භාරගත්තා. දේශාපලනඥයන් ලෙස අපට අභියෝගයවලට මුහුණදීමට සිදු වෙනවා. සතුට වගේම දුක තිබෙනවා. අපිට හොඳ කියනවා ඒ වගේම නරක කියවා. අප ප්රසිද්ධ වෙනවා අපේ නම අමතක වෙනවා. දේශපාලන ක්රියාවලියෙන් ලාභයක් ලබනවා, නැත්නම් අලාභයක් ලබනවා. ඒ වගේම තීරණ ගැනීමට සිදු වෙනවා.
ජනතාව මාව ප්රතික්ෂේප කළ අවස්ථාවේ වුවද මට ජනතාව ප්රතික්ෂේප කළ නොහැකි බව මම තීරණය කළා. රටේ නායකයෙක් ලෙස ජනතාව ප්රතික්ෂේප නොකර මම ජනතාව වෙනුවෙන් අභියෝගය භාරගත්තා. මට භාරදුන් නැවේ සිදුරු තිබුණා. ටයිටැනික් නැව වගේ ගිලෙන්න ඉඩ තිබුණා. නැව තුළට වතුර ඇවිත් තිබුණා. කපිතාන් කෙනෙක් හිටියේ නැහැ. නමුත් නැව භාරගෙන නැවේ සිටි අනෙක් පිරිස එක් කර ගනිමින් අපි ගමන ආරම්භ කළා.
ජීවන බර සැහැල්ලු කරමින්, රැකියා ලබාදෙමින්, නව ආර්ථිකයක් ඇති කරමින් විදේශ විනිමය සිඟා කන්නේ නැතිව අභිමානවත් රටක් ලෙස අපේ රට තුන්සිංහලයේ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙස මම ඉල්ලා සිටිනවා.”