අප්‍රේල් මස විසි පස් වනදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත් එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පැවසීය.
දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ගමින් ගමට සුවධරණී දීප ව්‍යාප්ත වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක උත්සවය පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේදී 18 දා පැවති අවස්ථාවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.
එහිදී තවදුරටත් අදහස් පළ කරමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.
මේ වන විට පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ මතය ඉදිරිපත් කරල තියෙනවා. රට පුරා පළාත් පාලන ආයතනවල සභිකයින් අට දහසක් පමණ ඉන්නවා. මේක රටට බරක් නිසා තමයි සීමා නිර්ණය කොමිසමක් පත් කරලා එම සභික ප්‍රමාණය අඩු කරන්න පියවර ගත්තෙ. එහි වාර්තාව ලැබුණු සැනින් ඉදිරි කටයුතු කරන්න සූදානම් .
ඒ කියන්නේ මැතිවරණය කල් දානවා කියන එක නෙමෙයි . අපි කිසිසේත්ම මැතිවරණ කල්දාන්නෙ නෑ. ප්රජාතන්ත්රවාදී රටක මැතිවරණ කල් දැමීම සුදුසු නැ. අපි හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වනවා. හැබැයි ලබන අප්‍රේල් විසිපස් වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නැහැ .ලබන නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව නම් කිව හැකියි.
ජෝශප් ස්ටාලින්ලගේ ලංකා ගුරු සංගමය ඇතුළු ත්‍රස්තවාදී ගුරු සංගම් කරන්නේ මේ රටට මහ අපරාධයක්. 2021 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වුණේ 2022 වසරේ. 2023 වසරේ උසස්පෙළ පන්ති සමහර පාසල් වල මේ වනතෙක් පටන් අරන් නෑ. පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර බලන ගුරුවරුන්ගේ ගෙවීම් දෙගුණයකින් වැඩි කරලත් තාම වැඩේ පටන් අරගෙන නෑ . මේ වෙනකොට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක් ආරම්භ කරලා .
විශ්ව විද්‍යාලයක ගුරුවරුන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ අටක් පමණ වෙනවා . කථිකාචාර්යවරයකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ හතරහමාරක්. ඒ අයගෙ දරුවෝ ඉගෙන ගන්නේ පිටරටවල. ඔවුන්ට මේ රටේ ප්‍රශ්න නෑ. මේ දඟලන්නේ පිටරට ඉගෙන ගන්න ළමයින්ට යවා ගන්න සල්ලි මදි වෙයි කියලා බයට.
මේව පිටිපස්සේ ඉන්නේ ඉතිහාසයේ හැමදාමත් රට වට්ටන්න වෙර දරපු දේශපාලන නායකයෝ. ඔවුන් තමයි මේ රටට ඩොලර් එවන්න එපා කියලා ප්‍රසිදියේ ප්‍රකාශ කළේ. මේ වගේ නායකයන්ගේ දේශපාලන සදාචාරය හා ප්‍රතිපත්තිය මොකක්ද පුළුවන්නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න කියලා මම කියනවා .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න