මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ නිවසක දේපල කොල්ලකෑමේ හෝ නිවැසි කාන්තාවන්ට අතවර කිරීමේ අරමුණින් නිවසකට ඇතුළු වූ බව කියන කල්ලියක සාමාජිකයකු අසල්වැසි තරුණයකුගේ ප්‍රහාරයකට ලක්ව බරපතළ කැපුම් තුවාල සහිතව නිවස තුළදීම මරණයට පත් වී සගයන් දෙදෙනා පලා ගිය බව කියන සිද්ධියක් පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව මිනුවන්ගොඩ පොලීසිය පවසයි. අද අලුයම් කාලයේ යාගොඩමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ දෙමහල් නිවසකදී ඇති වූ මෙම සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ ඕපාත ප්‍රදේශයේ පදිංචි තරුණයකු බවට හඳුනාගෙන ඇත.
ව්‍යාපාරිකයකු වන ගෙහිමියා තම ව්‍යාපාරික කටයුතු සඳහා දිනපතා අලුයම තුනට හතරට පමණ නිවසින් පිටතට යාම සිරිතක් වී ඇතැයි ද, එසේ පිටව යන සෑම අවස්ථාවක ම අසල්වාසී නිවසක තරුණයකුට ඒ බව දන්වා පිටව යාම ඔහුගේ පුරුද්දක් වී ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත .
එම නිවස ප්‍රදේශයෙන් බල්ලන් බුරනු තරුණයාට ඇසී නිසා ව්‍යාපාරිකයාගේ බිරියට දුරකථන ඇමතුමක් ලබා දී තොරතුරු විමසා ඇත. නිවසෙන් පිටත අඩි ශබ්ද කිහිපයක් ඇසෙන බවට ව්‍යාපාරිකයාගේ බිරිය තරුණයා දැනුවත් කර ඇත්තේ ඒ අවස්ථාවේදීය .
තරුණයා මේ පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා එම නිවස කරා පැමිණ ඇති අතර, නිවසේ තරුණියන් නිදා සිටි කාමරයක දොරවල් කැඩීමට උත්සාහ ගන්නා හඬ ඇසීමෙන් පසු තරුණයා නිවසට ඇතුළු වී ඒ වන විට නිවසට ඇතුළු වී සිටි කොල්ල කල්ලියේ සාමාජිකයන් තිදෙනාට ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ .තරුණයාගේ ප්‍රහාරයට ලක් වූ එක් කොල්ලකරුවකු නිවස තුළ කැපුම් තුවාල සහිතව ඇද වැටෙද්දී සෙසු සාමාජින් දෙදෙනා පළා ගොස් ඇතැයි ද පලා ගිය එක් පුද්ගලයකුටද තුවාල සිදුවී ඇති බවට සැක කරන බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ .
එවැනි තුවාලකරුවකු රෝහල්ගත වී ඇත්දැයි අනාවරණය කර ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
නිවසට ඇතුළු වූ කොල්ල කල්ලියේ සාමාජිකයන් අත අවි ආයුධ තිබී ඇති අතර නිවසේ කුස්සියේ තිබූ පිහි ආදිය අතුරුදන්ව ඇති බවද හෙළි වී යැයි පොලීසිය සඳහන් කරයි .තරුණයාගේ ප්‍රහාරයට ලක් වූ කොල්ල කල්ලි සාමාජිකයා බරපතළ කැපුම් තුවාල සහිතව නිවස තුළම මරණයට පත්ව ඇත .
මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සරල කරුණාරත්න මහතා විසින් සිද්ධිය වූ ස්ථානයේ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය 11 දහවල් පවත්වනු ලැබීය. මිය පුද්ගලයාගේ දේහය ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගෙන ඉදිරි කටයුතු සිදු කරන ලෙසට පොලීසියට නියෝග කරනු ලැබීය.
ගම්පහ පොලිස් අධිකාරි කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී 1 නාලක සේනානායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. එස්. ජයලත්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පෙරේරා යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති .
මිරිගම - කාන්ති