ඉදිකිරීම් ඇණහිට පැවති කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටුණේ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් හේතුවෙන් දැයි අනාවරණය කර ගැනීම සඳහා අද (06දා) පස්වරුවේ පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් විශේෂ නිරීක්ෂණයක් කර ඇත. ඉකුත් 4දා පස්වරුවේ මෙම මාර්ගයේ මීටර් තිහක් දිග කොන්ක්‍රීට් බාල්කයක් මැදින් කඩා වැටී තිබිණ .ඊට යාබදව පිහිටි තවත් කොන්ක්‍රීට් බාල්ක දෙකක් ඇළවී පවතින අතර ඒවා කඩා වැටීමේ තර්ජනයකට ඉඩ ඇත්දැයි සොයා බැලීමටද නියමිතය .
කඩා වැටුණු කොන්ක්‍රීට් බාල්කයේ වටිනාකම රුපියල් ලක්ෂ සියයක් පමණ වන බවට ගණන් බලා ඇත .ඊයේ 6 පස් වරුවේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය භාර උපදේශක නිලධාරීන්ද ස්ථානය නිරීක්ෂණයට ලක් කරමින් සිටින අවස්ථාවේ බෙම්මුල්ල පොලිසියේ මැදිහත්වීම මත පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක සොකෝ නිලධාරීහු ස්ථාන පරීක්ෂාව සඳහා පැමිණියහ.ව්‍යාපෘතිය භාර උපදේශක නිලධාරීන් හා පොලිසිය අතර ඇති වූ සාකච්ඡාවේදී හෙළි වුණේ මෙම සිදුවීම කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නිසා සිදුව ඇති බවට බෙම්මුල්ල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විශේෂ පරික්ෂාව සිදු කරන බවයි .
මෙම ව්‍යාපෘතියට අනුයුක්තව සේවය කළ සේවකයන්ගෙන් හා ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ ලබා ගැනීමටද පොලිසිය මෙහිදී පියවර ගෙන ඇත.
මීරිගම කාන්ති