ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළකාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත්කර ඇති වාරණ නියෝගය විසුරුවා හරින්නැයි ඉල්ලා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම ලබන 02 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (29) නියම කළේය.
දිසා අධිකරණයෙන් තමන්ට එරෙහිව ලබාගත් තහනම් නියෝගය පිළිබඳව මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නොමැති බවත් ඒ පිළිබඳව තමන් දැනගත්තේ මාධ්‍ය තුළින් බවත් කියමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියයම කළේය.
අභියාචනාධිකරණ විනිසුරු ඩී.එම් සමරකෝන් මහතා මෙම ප්රතිශෝධන පෙත්සම සලකා බැලීණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් වන ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක නමැත්තන් නම් කර ඇත.
පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධි නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම වාරණ නියෝගය හෝ ඊට අදාල කිසිදු ලියවිල්ලක් මෙතෙක් තම සේවාදායකයාට නැතැයිද මෙම වාරණ නියෝගය පිළිබඳ තමා දැනගත්තේ මාධ්‍ය මඟින් යැයිද කීය.
කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා මැයි 02 වැනිදා කැඳවීමට නියම කළේය.