අයහපත් කාලගුණික තත්වය සමඟ සීතල දරාගැනීමට නොහැකිව කිලිනොච්චිය ප්‍රදේශයේ ගොවීන්ගේ කිරි ගවයින් 165 ක් සහ එළුවන් 07 දෙනෙකු පමණ අද (09) දිනය වන විට මියගොස් ඇතැයි කිලිනොච්චිය ප්‍රදේශවාසීණ් පවසති.
කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශී ලේකම් කොට්ඨාශයට අයත් පොන්නගර් ප්‍රදේශයේ කිරිගවයින් සහ එළුවන් ප්‍රදේශයේ ගවමඩු තුල මෙන්ම මාර්ගයන්හි සිටියදී එලෙස සීතල දරාගැනීමට නොහැකිව මියගොස් තිබේ. මේ අතරින් බොහෝ සතුන් කුඩා පැටවුන් සහ දෙනුන් වෙයි.
අධික සීතල හේතුවෙන් අසනීප වී ඇති ගවයින් බේරාගැනීම සඳහා හිමිකරුවන් මාර්ගවල , ගවමඩුවල සහ තැනතැන විශාල ගිනිසෑයවල් නිර්මාණය කරමින් ගවයින්ට උණුසුම ලාබාදීමට කටයුතු කරමින් සිටිති.
අයහපත් කාලගුණික තත්වය සමඟ ඇතිවූ ශීත කාලගුණික තත්වය හේතුවෙන් දින දෙකක කාලයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 දක්වා අඩුවී තිබූ බවද කිලිනොච්චිය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
කෙසේ වෙතත් පවතින අධික සීතල තත්වය ඉදිරි දින කිහිපය තුලදීද පැවතියහොත් මිය යන සතුන් ප්‍රමාණය මීට වඩා වැඩිවිය හැකි බවටත් ගවයින් එළුවන් ඇතුලු සතුන් හැකි අයුරින් උණුසුම් ස්ථානවල රඳවන ලෙසටද කිලිනොච්චිය ආපදා කලමනාකරන කාර්යාලය දැනුම් දී ඇත.
සතුන් මියයෑමෙන් තමන්ට විශාල ආර්ථික බලපෑමක් සිදුව ඇති බවත් මියගිය සතුන් පිළිබඳව හා සීතල හේතුවෙන් අසනීප වී ඇති සතුන් සම්බන්ධයෙන් කිලිනොච්චිය රජයේ පශුවෛද්‍ය කාර්යාලය දැණුවත් කොට ඇති බවද හිමිකරුවන් වැඩිදුරටත් පැවසීය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_caa4633960.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_9eb55cd828.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_30f9b88fb3.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_a0d859d2c3.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_9f2bd8b517.jpg)