ශ්‍රි ලංකාවේ අනුමත පළිබෝධනාශක අතර ලෝකයේ බොහෝ රටවල් තහනම් කරමින් තිබෙන අධි අන්තරායකර පළිබෝධනාශක 40 ක් මෙරට ගොවීන් විසින් භාවිත කරන බවට තම සංවිධානය විසින් සිදුකළ සමීක්ෂණයකදී හෙළි වූ බව පරිසරයුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
2016 නොවැම්බර් 24 වැනි දින නිකුත් කර තිබෙන අතිවිශේෂ ගැසට් අංක 1994/71 යටතේ ශ්‍රී ලංකාව තුළ මෙම පළිබෝධනාශක භාවිතය සඳහා අවසර ලබා දී තිබෙන බවත්, මේ නිසා වහාම මෙම පළිබෝධනාශක වර්ග 40 තහනම් කළ යුතු බවත් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.
තම වගාවකට පළිබෝධ හානියක් වූ පසු ගොවීන් වැඩිපුර උපදෙස් ලබාගන්නේ පළිබෝධනාශක අලෙවි කරන අයගෙන් බවට අනාවරණයවූ බවත්, බොහෝ ගොවීන් මෙම ද්‍රව්‍ය වගාවන්ට ඉසීමෙහිදී නිවැරදි ආරක්ෂිත ක්‍රම වේද පවා භාවිත නොකරන බවට හෙළි වූ බවත් හෙතෙම පැවසීය.
අධිඅන්තරායකර පළිබෝධනාශක 40 සැලකීමේදී ඉන් 14 ක් ගෘහාශ්‍රිත වශයෙන් සිදුකරන වගා සඳහා යොදා ගන්නා බවට හෙළි වී තිබේ. පසුගිය වසර පහ තුළ මෙරටට ගෙන්වා තිබෙන පළිබෝධනාශක ප්‍රමාණය සැලකීමේදී වසරකට වල්නාශක වර්ග මෙට්‍රික් ටොන් 2181ක්, කෘමිනාශක වර්ග මෙට්‍රික් ටොන් 1183ක් සහ දිලීරනාශක මෙට්‍රික් ටොන් 896 වශයෙන් ගෙන්වා තිබේ. තම සංවිධානය විසින් මේ වසරේ පළමු මාස 03 ක කාලය තුළදී දිස්ත්‍රික් 09 ක් මුලික කර ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර තිබෙන බවත්, මෙම වාර්තා පළිබෝධනාශක රේජිස්ට්‍රාර් කාර්යාලය ඇතුළු වගකිව යුතු ආයතන වෙත භාර දීමට කටයුතු කරන බවත් හේමන්ත විතානගේ මහතා පැවසීය.
අධිඅන්තරායකර පළිබෝධනාශකවලින් මිනිසුන්ට, වගාවන්හි ජීවත්වන සතුන්ට, පොළොවට හා ජලයට සිදුවන හානි සැලකිල්ලට ගනිමින් එම පළිබෝධනාශක තහනම් කරමින් තිබෙන බවත්, අප රට තුළට මෙම ද්‍රව්‍ය ගෙන්වීමේ අවසර ලබාදී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙම පළිබෝධනාශක භාවිත කිරීම නිසා ශ්වසන රෝග, සමේ අසාදන, පිළිකා, විවිධ විෂවීම්, හෘදය ආශ්රිත රෝග සහ මස්පිඩු හා අස්ථි ආශ්රිත රෝගාබාධ වැනි සෞඛ්‍ය ගැටලු ඇතිවන බවට සොයාගෙන තිබෙන බවද පෙරේදා(22දා) අදාළ වාර්තාව එළිදක්වමින් හේමන්ත විතානගේ මහතා පැවසීය.