විදුලි ගාස්තු සංශෝධනය වීමත් සමග අද (16) සිට විදුලි කප්පාදුව නවත්වන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය හිමිවීමත් සමග ගල් අඟුරු, නැප්තා, ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් බැංකු වලින් මුදල් ලබා ගැනීමේ අවස්ථාව හිමිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
"2022 ජනවාරි මාසයේදී පැයකින් අපි විදුලි කප්පාදුව ආරම්භ කළා. පෙබරවාරි වන විට පැය දෙකකට ගියා. විශේෂයෙන්ම පසුගිය වසරේ මාර්තු මාසය වන විට පැය 7 විනාඩි 30ක විදුලි කප්පාදුවකට ගියා. මාර්තු මාසය අවසන් වන විට පැය 16ක විදුලි කප්පාදුවකට ගියා.
ජනතාව විශාල ලෙස අපහසුතාවට පත්වුණා. මේ පණිවිඩය ලැබීමත් සමග අය ක්‍රමය ලැබීම නිසා මේ රටේ සියලුම පුරවැසියන්ට අඛණ්ඩ විදුලි සැපයුම ලබාදෙන්න ජනපති උපදෙස් දුන්නා. අපිට ලංකා බැංකුව හරහා රුපියල් බිලියන 22ක අමතර ණය මුදලක් ගල් අගුරු ලබා ගැනිමට ලැබුණා.
මහජන බැංකුවෙන් රුපියල් බිලියන 50ක ණයක් ඉල්ලා තිබෙනවා. පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ට ලබාදෙන්න රුපියල් බිලියන 50ක් දෙන්න තියෙනවා. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 110ක් ගෙවන්න තියෙනවා. ජනපතිගේ ඉල්ලීම අනුව අද දවසේ ඉදලා අපි අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් කටයුතු කරනවා."
VIDEO