වැටුප් ගැටලු ,දීමනා ගැටලු හා උසස් වීම් ගැටලු මුල් කර ගනිමින් අද(18දා) සිට ඉදිරි කාලයේදී වර්ජන රැල්ලක් ඇති වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
මේ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ඇති වී තිබෙන ගැටලුවලට අද (18දා) දිනයේදී විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියා මර්ග ආරම්භ කිරීමට දුමිරිය ස්ථානාධිපතිවරුන් සැලසුම් කර ඇත. විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ට ඇති වී තිබෙන ගැටලුවලට අද දිනයේදී නිසි විසඳුම් නොලැබුණහොත් දැනට සිදුකරන වෘත්තීය ක්‍රියා මාර්ග දැඩි කිරීමට තීරණය කර තිබේ.
තැපැල් සේවකයන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා දීම ප්‍රමාද කළ හොත් මේ මස 24 වැනි දින සිට වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර ග්‍රාමනිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීමට කටයුතු නොකළ හොත් 24 වැනි දින සිට වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කිරීමේ තීන්දුව ගෙන තිබේ.
ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා මේ මස 26 වැනි දින සේවයෙන් ඉවත්ව සිටීමේ එක් දින වැඩ වර්ජනයක් හා විරෝධතා ව්‍යපාරයක් පැවැත් වීමට සැලසුම් කර ඇත. පරිපූරක වෛද්‍ය සේවාවට අදාළ සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වසර හතරක් තිස්සේ ප්‍රමාද කිරීම නිසා එම සේවාවට අයත් 1200කට අධික පිරිසකට පළමු ශ්‍රේණියේ සිට අධි ශ්‍රේණියට උසස් වීම් ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව පරිපූරක වෛද්‍ය සේවා එකාබද්ධ බලමණ්ඩය සඳහන් කරයි.
අදාළ ගැටලු විසඳීම ප්‍රමාද කරමින් සිටින නිසා ලබන සතියේදී රෝහල් මට්ටමින් ක්‍රියා මාර්ග ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා අද(18) කොළඹ දී විරෝධතා ව්‍යාපරයක් පවත්වන බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති සඳහන් කරයි.මෙම විරෝධතාව පැවැත්වීමෙන් පසු ඉදිරි වෘත්තීය ක්‍රියා මාර්ග තීරණය කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන් අද සවස රැස්වන බවද එම සමිති පෙන්වා දෙයි.
පවතින ගැටලු විසඳන ලෙස ඉල්ලා ආරම්භ කළ වැඩ වර්ජනයට අද(18දා) දින 48 ක් ගත වී තිබෙන බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති සඳහන් කරයි. ගැටලුවලට විසඳුම් ලබා දීම ප්‍රමාද කරන නිසා එයට එරෙහිව පසුගිය 14 දින සිට විරෝධතා ව්‍යාපාර ආරම්භ කළ බවත්, මේ අනුව විශ්ව විද්‍යාල මූලික කරගනිමින් 14 වැනි දින දිවයින පුරා විරෝධතා පැවැත් වූ බවත් එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.
එම ක්‍රියා මාර්ගයට අනුවත් ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු නොකළ නිසා සියලුම විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයන් අද කොළඹට පැමිණ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් වීමට කටයුතු කරන බවද ඔවුහු පෙන්වා දෙති.
2016 වසරේදී රාජ්‍ය සේවකයන්ට ඉහළ දැමූ වැටුප් අනධ්‍යයන සේවකයන්ට මෙතෙක් ලබා දී නොමැති හෙයින් වැටුප් ඉහළ දැමීම සිදුකරන ලෙස ඉල්ලා හා මාසික හිලව් දීමනාව ඉහළ දමන ලෙස ඉල්ලා මැයි 02 වැනි දින සිට වැඩර්ජනයක් ආරම්භ කරනු ලැබීය.දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ශ්‍රේණි උසස් වීම්වලට අදාළව අද(18දා) පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.
මෙම ගැටලුවට පසුගිය 14 වන දින සවස 2.00ට පෙර විසඳුමක් ලබා දෙන ලෙසට ප්‍රවාහන බලධාරින්ගෙන් ඉල්ලා සිටි බවත්, ඒ අනුව එදින ප්‍රවාහන බලධාරීන් සමග පැවැති සාකච්ඡාවෙහිදී ගැටලු පිළිබඳව රාජ්‍ය සේවා කොමිසම සමග සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ලබා දී තිබෙන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා සඳහන් කළේය.
දුම්රිය නියාමක, දුම්රිය රියදුරු,අධීක්ෂණ කළමනාකරුවන් හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට වසර 10 න් 10 ට උසස් වීම ලබා දීමේ ක්‍රමයක් පැවැති බවත්, දුම්රිය ස්ථානාධිපති හැර අනෙකුත් සේවා සඳහා වසර 05 න් 05ට උසස් වීම් ලබා දෙන ක්‍රමයක් සකස් කර තිබෙන බවත්, මේ නිසා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවත්, නියාමකවරුන්ට හා ස්ථානාධිපතිවරුන්ගේ ඉහලම තනතුරුවන දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක ශ්‍රේණියට ඇතුළු වීමේදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ගැටලුකාරී තත්වයක් ඇති වන බවත් හෙතෙම පවසා සිටියේය.
මේ නිසා අදාළ ගැටලුවට අද විසඳුම් ලබා දෙන ආකාරය පිළිබඳව තම සංගමය බලා සිටින බවත්, සාකච්ඡාවෙහිදී නිසි විසඳුම් නොලැබුණ හොත් ඉන් පසුව ඕනෑම අවස්ථාවක වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.තැපැල් සේවාවේ පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් ප්‍රමාද කිරීමට එරෙහිව මේ මස 24 වැනි දින සිට වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව එකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබුණු වැටුප් විෂමතා විසඳා 2022 වසරේදී තුනෙන් එකක කොටසක් ලබාදුන්නත් තවමත් ඉතිරි කොටස් දෙක ලබා දී නොමැති බව ගුරුවිදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.මේ නිසා අදාළ කොටස් දෙක ලබා දෙන ලෙස ඉල්ලා හා තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මේ මස 26 වන දින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බව එම සන්ධානය සඳහන් කරයි.
ගුරු විදුහල්පතිවරුන් එදින කොළඹට පැමිණ විරෝධතා ව්‍යාපරයක් පැවැත් වීමට කටයුතු කරන බවත්, මෙම ක්‍රියා මාර්ගවලට විසඳුම් නොලැබුණ හොත් ඉන් පසුව අඛණ්ඩ වෘත්තීය ක්‍රියා මාර්ග සිදුකරන බවත් ඔවුහු පෙන්වා දෙති.
ග්‍රාම නිලධාරීන්ට විධිමත් සේවා ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති විසින් බලධාරීන්ට ඉදිරිපත්කළ යෝජනා ඉවත දමා සේවා ව්‍යවස්ථාවක් සකස් කර තිබෙන බවද ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සඳහන් කරති.
මේ නිසා දැනට බලධාරීන් විසින් තමන්ගේ කැමැත්තට සකස් කර තිබෙන සේවා ව්‍යවස්ථාවට විරෝධය දක්වන බවත්, වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනා ඇතුළත් ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස ඉල්ලා මේ මස 24වැනි දින සිට වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කරන බවත් වෘත්තීය සමිති සඳහන් කරති.