පොසෙන් පොහොය දිනය මූලික කර ගනිමින් අද(21දා) විහාරස්ථාන 11100ක විවිධ ආගමික උත්සව සංවිධානය කර තිබෙන අතර පොසොන් කලාප 322ක් දිවයින පුරා පැවැත් වේ.
තොරන් 296ක් හා දන්සල් 4600ක් පැවැත් වීමට ලියා පදිංචි වී තිබේ. පොසෙන් දිනය මූලික කර ගනිමින් දිවයින පුරා පැවැත්වෙන ආගමික උත්සව, තොරන් හා පොසොන් කලාපවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 20.000ක් යොදවා සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
ආරක්ෂක කටයුතු සඳහා පොලිස් ප්‍රජා කමිටු නියෝජනය කරන පුරවැසියන් 27000ක් සම්බන්ධ වීමට නියමිතය. පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් 400ක් පමණද, ආරක්ෂක කටයුතුවල අවශ්‍යතාව අනුව යුද හමුදා නිලධාරීන්ද යොදා ගැනීමට නියමිතව තිබේ.
ජල මූලාශ්රවල දිය නෑමේදී තමන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වන ලෙසත් දින නෑම සිදුකරන පිරිස්වල ආරක්ෂාව සඳහා පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් 400කට වැඩි ප්‍රමාණයක් යොදවා තිබෙන බවත්, රිය පැදවීමෙහිදී මත් පැන් භාවිත කිරීමෙන් වළකින ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙයි. වාහන නවතා තැබීමේදී ඒ සඳහා වෙන් කර තිබෙන ස්ථානවල පමණක් වාහන නවතා තබන ලෙසත්, වාහන තුළ වටිනා ද්‍රව්‍ය තබා යාමේදී එහි ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්වන ලෙසත් ඉල්ලා සිටියි.
රථවාහන සම්බන්ධ ගැටලුවක් ඇති වුවහොත් ඒ පිළිබඳව 0252222191 හෝ යම් පුද්ගලයෙකු පැමිණි පිරිසෙන් වෙන්ව අතර මං වීමක් සිදුවහොත් ඒ පිළිබඳව 0252222124 දුරකතන අංකයට කතා කර සහාය ලබා ගත හැකි අතර මෙය අනුරාධපුර ප්‍රදේශයට අදාළව පමණක් ක්‍රියාත්මක වේ.
හෝමාගම පොසොන් කලාපයට අදාළව හදිසි අවස්ථාවකදී 0718591655 මගින් හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ඇමතිය හැක. හෝමාගම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාට 0718591658 දුරකතන අකංය මගින් හා හෝමාගම පොලීසියට 0112855222 හෝ 0112855211 දුරකතන අංක මගින් දැනුම් දිය හැකිය.
පොසොන් උත්සවය නිමිත්තෙන් සිදුකරන සංචාරවලදී පරිසරය ආරක්ෂා කිරීමට සියලුම දෙනා කටයුතු කළ යුතු බවත්, කැළිකසළ නිසි ලෙස බැහැර කර හෝ නිවසින් රැගෙන යන බෑගයට කැළි කසළ දමාගෙන ගොස් නිවැරදි ලෙස බැහැර කරන ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දන්සල් පැවැත්වෙන ස්ථානවලදී හෝ වෙනත් ස්ථානවලදී කිසිවෙකුටත් කරදරයක් සිදුනොවන ආකාරයට කටයුතු කරන ලෙසට සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත්, හිරහැරයක් සිදුකළ හොත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.