ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචි අත්හිටුවමින් එහි කටයුතු පාලනය කිරීමට ක්‍රීඩා අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා අර්ජුන රණතුංග මහතාගේ නායකත්වයෙන් යුතුව පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුවට එහි කටයුතු කිරීම සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතාද අද (16) ඉවත් විය.
පෞද්ගලික හේතූවක් බව කියමින් අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතා පෙත්සම් විභාගයෙන් ඉවත් වු අතර මීට පෙර දින මෙම පෙතත්සම් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ඉවත් වුහ.
මෙම පෙත්සම සලකා බැලීම සඳහා ලබන සදුදා (20) කැඳවීමට අභියාචනාධිකරණය නියම කළ අතර පෙත්සම විභාගය සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කිරීමෙන් මතුවී ඇති ප්‍රායෝගික අපහසුතාවය සැලකිල්ලට ගනිමින් පෙත්සම සලකා බලන ලබන සදුදා තෙක් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව ක්‍රීඩා අමාත්‍යවරයා අධිකරණයට පොරොන්දුවක් දුන්නේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ගොනුකළ පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ඩී.එන්.සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන් හමමුවේ කැඳවනු ලැබීය.
විනිසුරු නීල් ඉද්දවෙල මහතා ඒ අවස්ථාවේදී අධිකරණය අමතමින් පුද්ගලික හේතුවක් මත පෙත්සම සලකා බැලීමෙන් තමා ඉවත් වන්නේ යැයි දැනුම් දුන්නේය.
නව විනිසුරු මඩුල්ලක් පත් කිරීමට පෙත්සම යලි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා වෙත යොමු කළ අතර අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන් නම් කෙරිණී.
ඉන් අනතුරුව පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම පෙත්සමට අදාළව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය අද දිනෙන් අවසන් වන හෙයින් පෙත්සම සලකා බලන දිනයය තෙක් අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන්නැයි ඉල්ලා සිටියේය.
වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා එම ඉල්ලීමට තරයේ විරුද්ධ විය.
නිවැරදි තොරතුරු ඉදිරිපත් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා නම් අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකරන බවත් කෙසේ නමුත් අභිනව විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවන හෙයින් අලුතින් කරුණු සලකා බැලීමෙන් අනතුරුව පමණක් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද? නැත්ද? යන්න තීරණයක් ගත් හැකි වන්නේ යැයි කී ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කෙසේ වෙතත් පෙත්සම සලකා බැලීම සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කර ඇති හෙයින් මෙම අවස්ථාවේදී මතුවී ඇති ප්‍රායෝගික අපහසුතාවය සැලකිල්ලට ගෙන පෙත්සම සලකා බැලීමට නියමිත ලබන සදුදා (20) දින තෙක් පමණක් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කිරීමට අදාළව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවට පොරොන්දුවක් දුන්නේය.
වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු දක්වමින් අභිනව විනිසුරු මඩුල්ලට අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට හැකියාවක් නැතැයි කීය. කරුණු සළකා බැලු විනිසුරුවරයා පෙත්සම සලකා බැලීම සඳහා ලබන සදුදා (20) කැදවීමට නියම කළේය.