රේගුවට හොර රහසේ 2017 වසරේදී මෙරටට ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් ලියාපදිංචි කරමින් රජයට රුපියල් කෝටි 100ක බදු මුදලක් අහිමි කළැයි කියන සුඛෝපභෝගී මෝටර් රථ 19 ක් වහාම අත්අඩංගුවට ගෙන රේගුවට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අල්ලස් කොමිසමට අද (25දා) නියෝග කළාය.
මිට්සුබිෂි මොන්ටේරෝ වාහන 09 ක් සහ ටොයෝටා වි-8 ජීප් රථ 10 ක් වහාම අත්අඩංගුවට ගෙන රේගුවට භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියෝග කළාය.
එම මෝටර් රථවල වර්තමාන හිමිකරුවන් වන කොළඹ, වැල්ලවාය, කෑගල්ල, නුවර, ගම්පහ, හලාවත, වෙන්නපුව, හා පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියමින් ඔවුන්ගේ නම්, ලිපිනයන් සහ වාහන අංක අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.නඩු 19 ක් ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂ නීතිඥ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය කරුණු දක්වමින් ප්‍රශ්නගත මෝටර් රථ 2017 වර්ෂයේ ආනයනය කර ඇතැයි කීවාය.
2017 වර්ෂයේ ආනයනය කර ඇති ප්‍රශ්නගත මෝටර් රථ 2002 හා 2003 වර්ෂයේ ආනයනය කළ බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් ලියාපදිංචි කර ඇතැයි කී නීතිඥවරිය අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකයේ නිලධාරීන් කළ විමර්ශනයේදී 2002 හා 2003 වර්ෂයේ එවැනි වාහනයක් නිෂ්කාශනය කළ බවට කිසිදු රේගු සටහනක් හෝ අංකයක් නැතැයිද කීවාය.
මෝටර් රථප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පරීක්ෂා කිරීමේදී එලෙස ලියාපදිංචි වූ පුද්ගලයෙකු හෝ නිවැරදි ලිපිනයක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවද කී නීතිඥ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය 2002 වසරේ මෙම වාහන ලියපදිංචි කළේ නම් ඊට අදාළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සටහනක් තිබිය යුතු බවත් එවැනි ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පිළිගත හැකි කිසිදු ලේඛනයක් හමුවී නැති බවත් කීවාය.
නිසි රේගු නිෂ්කාශනයක් නොකර රජයට රුපියල් කෝටි දහසක බදුමුදලක් අහිමි කරමින් හොර රහසේ මෙරටට ආනයනය කර ලියාපදිංචි කළ මෙවන් සුඛෝපභෝගී වාහන 200ක් අල්ලස් කොමිසම මගින් අනාවරණය කරගෙන ඇති බවත් පැවසූ ඇය නීති විරෝධී එම ක්‍රියාවලියෙන් රුපියල් කෝටි දහසක පමණ අලාභයක් රටට සිදුව ඇතැයිද කීවාය.
එලෙස හොර රහසේ ලියාපදිංචි කර ඇති අදාළ වාහන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, ඊට ආධාර අනුබල දුන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සැකකාර නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළ නීතිඥවරිය මෙම වාහනවල වත්මන් හිමිකරුවන්ගෙන් එම වාහන අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිටියාය.කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ වාහන අත්අඩංගුවට ගෙන රේගුවට භාර දීමට නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළාය.
සචිත්ර ගුණසේකර