කඩිනමින් සාක්ෂි මතු වන අපරාධවල පරීක්ෂණ කඩිනමින් සිදු කරන බවත්, දුෂ්කර සාක්ෂි මතු වන අපරාධවල පරීක්ෂණ දුෂ්කරතාව දරාගෙන ඊට ගතවන කාලයත් සමග සිදු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වර්තමානයේ අත්අඩංගුවට ගැනීම් සිදු කරනු ලබන්නේ පරීක්ෂණ සඳහා බවත්, එසේ නොමැතිව කිසිදු පුද්ගලික හඹා යාමක් නොමැති බවත් අද (26දා) අනුරාධපුරයේ පැවති සුහද හමුවට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“ඉතිහාසයේ ආණ්ඩු පෙරලිලා ආණ්ඩු හැදිලා තියෙන්නේ කොහොමද? සමහර වෙලාවට උපයෝගී කර ගන්නවා ඒ අයගේ පවුල් පරම්පරා. ඒ මත නායකයෝ හදලා තියෙනවා, ආණ්ඩු හදලා තියෙනවා. තාත්තත් අගමැති, අම්මත් අගමැති, එහෙනම් දුව ඉඳුරාම ජනාධිපති කියලා තෝරලා තියෙනවා. එහෙම නැතිනම් මාමා ජනාධිපති, බෑනා ජනාධිපති, අයියා ජනාධිපති, මල්ලි ජනාධිපති. එහෙම නායකයෝ හැදිලා තියෙනවා, ආණ්ඩු මාරු වෙලා තියෙනවා.
මේ සැරේ එහෙමද? නෑනේ. ඒ කියන්නේ පවුල් බලයකින් තොරව ආණ්ඩුවක් හැදුණා. ඒ විතරක් නෙවෙයි වෙනදා ආණ්ඩු හැදෙනවා විශාල ලෙස සල්ලි පොම්ප කරලා. එහෙම සල්ලි පොම්ප කළාද මේ මැතිවරණයේදී? නෑ. අපේ ජයග්‍රහණය සල්ලි පොම්ප කරලා නෙවෙයි. තව ආණ්ඩු හැදිලා තියෙනවා ඒ අයට තිබෙන විශාලතම මාධ්‍ය බලයෙන්. තව විදියකට ආණ්ඩු හැදෙනවා කුමන්ත්‍රණ කරලා. මතකනේ පාස්කු වගේ ප්‍රහාර. පරීක්ෂණ යනවා හොඳට හොඳේ. බයවෙන්න එපා. ඒ වගේ කුමන්ත්රණවලින් ආණ්ඩු හැදුණා. කුමන්ත්‍රණ නැති, පවුල් බලය නැති, ධන බලය නැති,මාධ්‍ය බලය නැති ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුව පිටුපස තිබෙන ප්‍රධානම බලය තමයි මේ එක්රැස් වෙලා සිටින ජනතාව.
අපිට බලය ලැබිලා සතියක් දෙකක් යද්දි ඩොලර් එක 308 දක්වා ගියා. තව ටිකක් ඉස්සරහට ගියා නම් ඩොලරයේ පාලනය ගිලිහෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන , ආයෝජකයන් කෙරෙහි, ව්‍යවසායකයන් කෙරෙහි , අපේ ආර්ථිකයන් හසුරවන්නන් කෙරෙහි පළමුකොටම ආණ්ඩුවේ විශ්වාසය ඇති කළා. අපි ඩොලරයේ අගය 300 යටට ගෙනාවා.දැන් මාස 3-4කට ආසන්න කාලයක් අපි ඩොලරයේ අගය 300ට අඩුවෙන් තියාගෙන තියෙනවා. ඊළඟට කොටස් වෙළඳපොළ වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා.
කොටස් වෙළඳපොළේ වර්ධනයෙන් පෙන්නුම් කරනවා ආයෝජකන් අපේ රටේ ආර්ථිකය කෙරෙහි තබා තිබෙන විශ්වාසය. පසුගිය දෙසැම්බර් මාසයේ සිට දිනපතා කොටස් වෙළඳපොළ ඉහළ යනවා. ඒක ආර්ථිකයේ ස්ථාවරත්වය පිළිබඳ පිළිබිඹුවක්. ඊළඟට අපේ රට බංකොලොත් භාවයට පත්වෙලා තිබුණේ. ණය දෙන්නේ නැති, අපේ බැංකු පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටිලා තිබුණේ. පසුගිය දෙසැම්බර් 21 වැනිදා ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කළා. අපි ගෙවන්න තිබුණා ණය ගෙවන විදිය ගැන සැලැස්මක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ ලංකාව එතෙක් පැවති බංකොලොත් භාවයෙන් නිදහස් කරගත්තා දෙසැම්බර් 21වැනිදා. අපෙ ආණ්ඩුව හදලා මාසෙකින්.
වංචාවක් වුණාම පරීක්ෂණ කරන්න තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ පරීක්ෂණ මත නඩු පවරනවා නීතිපති දෙපාර්තමේන්තුව. නඩු විභාග කරනවා අධිකරණය විසින්. ඒක තමයි තියෙන ක්‍රමවේදය. දේශපාලන අධිකාරියේ අපි පරීක්ෂණ කරන්න යන්නේ නෑ. අපි නඩු පවරන්න යන්නේ නෑ. උසාවියේ අපි නඩු කියන්න යන්නේ නෑ.ඒ සඳහා ආයතන හදලා තියෙනවා. අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හදලා තියෙනවා පරීක්ෂණ කරන්න. නීතිපති දෙපාර්තමේන්තුව හදලා තියෙනවා ඒ පරීක්ෂණ වලට සහය දෙන්න සහ පරීක්ෂණය හරියට ගොනු කරලා අධිචෝදනා පත්‍ර ගොනු කරලා නඩුව ගෙනියන්න. අපි කරලා තියෙන්නේ මේ ආයතන වලට පණ පොවන එක.
දැන් මේ අත්අඩංගුවට ගන්නේ පරීක්ෂණය සඳහා. සමහර විට උසාවියෙන් ඇප දෙනවා. කාවවත් දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ තියාගන්න එක නෙවෙයි අපේ වැඩේ. පරීක්ෂණය කිරීම සඳහා තමයි මේ අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ. පරීක්ෂණ ඉවරවුණාට පස්සේ නඩු ගොනු කරලා වරදකරුවන් කරලා හිරේ යවන්න ඕනෑ. ඒක කරනවා. අපි කවුරුවත් පෞද්ගලිකව හඹා යන්නේ නෑ. එතකොට කට්ටිය කියනවා ලොකු ඒවා නැතුව පොඩි ඒවනේ එළියට එන්නේ කියලා. ඉතින් ඉවර වෙන ඒවා තමයි එළියට එන්නේ. අපිට කියන්න බෑනේ ලොකු එක අවසන් නෑ පොඩි එක මෙහෙම තිබුණාවේ කියලා.
පහසු ඒවා ඉක්මනින් ඉවර වෙනවා.අපහසු ඒවට කල් යනවා. ඉක්මනින් සාක්ෂි, සාධක මතුවෙන ඒවා ඉක්මනින් කරනවා. දුෂ්කරතා තියෙන ඒවා දුෂ්කරතා දරාගෙන කාලයක් යයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන්නේ ඔහොම. ලොකු ඒවත් එයි. පොඩි ඒවත් එයි. ඒත් අපිට තේරීමක් නෑ. නම් හැටියට තේරීමකුත් නෑ. ලොකු පොඩි කියලා තේරීමකුත් නෑ. අපි ආයතනවලට බලය දීලා තියෙනවා කරන්න කියලා. ”