ජලය පිරී තිබූ අඩි සියයක් පමණ ගැඹුරු ගල් කොරියක ස්නානයට ගිය පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු දිය ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කඩුවෙල කොතලාවල ගැමුණුපුර මෙල්නට් එස්ටේට් 01 පටුමග අංක 03 /11 හි පදිංචි සංජය එගොඩ ගෙදර (31) හැවිරිදි පෞද්ගලික ආයතනයක රියැදුරෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා ඔහුගේ මිතුරෙකු සමග පාදුක්ක බටවල ප්‍රදේශයේ අතහැර දමා තිබූ "ලව්පිටිය ගල්කොරිය" අසල මත්පැන් සාදයක් පවත්වමින් සිටියදී අඩි සියයක් පමණ ගැඹුරු ගල්කොයෙහි පිරී තිබූ ජලය මත ස්නානය කිරීමට ගොස් තිබේ.
මියගිය පුද්ගලයා පළමුව ජලය පිරී තිබූ වලට බැස සිය මිතුරාට පිහිනීමට පුරුදු කිරීමආරාධනා කරමින් අඩි දෙකක් තුනක් පනණ ඉදිරියට යමින් සිටියදී එක් වරම දියේ ගිලී අතුරුදන්ව තිබු අතර මිතුරා තවත් කිහිපදෙනෙකු සමග ඔහු සෙවීමට උත්සාහ කළොත් එය ව්‍යාර්ථ වීම නිසා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර තිබේ.
ඒ අනුව පොලිසිය හා නාවික හමුදාව පැමිණ දියේ අතුරුදන් වූ පුද්ගලයා සොයා පරීක්ෂණ පැවැත් වුවද සොයාගැනීමට නොහැකි වූ අතරතුරදී එම ගමෙහි වෘත්තියෙන් වැලි ගොඩ දාන පුද්ගලයෙකු දියේ ගිලී සිටි පුද්ගලයා සොයාගෙන තිබුණි.
පසුව සිද්ධිය වූ ස්ථානයට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදුකොට දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළේය.
ඒ අනුව හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය දමිත් අත්තනායක මහතා විසින් දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකොට එහි වාර්තාව ඉදිරිපත් කර තිබූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ මරණය ජලය පිරී තිබූ ගල් කොරියේ ගිලි සිදුවූ හදිසි අනතුරු මරණයක් බවට හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කළේය.
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න