වසරකට අධික කාලයක් තිරප්පනේ පොලිස් වසම තුළ සැරිසරමින් සිටින පිරිපුන් දළ යුගලකින් සමන්විත අග්බෝ ඇතා නොපමාව ආරක්ෂිතව සුදුසු වනාන්තරයකට මුදා හැර සංරක්ෂණය කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා වනජීවී දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්යක්ෂවරයාට නියෝග කළේය.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ උතුරු මැද දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත තිරප්පනේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් කුමාරසිංහ මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි. මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් තිරප්පනේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් කුමාරසිංහ මහතා පැවසුවේ අග්බෝ ඇතා දැනට වසරකට අධික කාලයක සිට තිරප්පනේ ප්‍රදේශයේ විවිධ තැන්වල සැරිසරමින් සිටින බවයි.
මෙම ඇතා සංරක්ෂණය කළ යුතු වටිනා දළ ඇතෙකු බවද ස්ථානාධිපතිවරයා අවධාරණය කළේය. ගතවී ඇති මෙම වසරකට අධික කාලය තුළ අග්බෝ ඇතා ගොවීන්ගේ වගාවන් සහ දේපළ රැසක් විනාශ කර ඇති බවත් ඇතැම් පුද්ගලයන් අග්බෝ ඇතාටද විවිධ හිරිහැර සිදු කරමින් වධහිංසා පමුණුවා ඇති බවද අධිකරණයට සැල කළ ස්ථානාධිපතිවරයා අග්බෝ ඇතා තිරප්පනේ ප්‍රදේශයේ තවදුරටත් සැරිසැරීම අග්බෝ ඇතාගේ ජීවිතයට මෙන්ම මහනජයාගේ ජීවිතවලට සහ දේපළවලට තර්ජනයක් විය හැකි බවද පවසා සිටියේය.
ඒ අනුව මේ අවස්ථාවේ අග්බෝ ඇතාගේ ජීවිතය සහ මහජන ජීවිත මෙන්ම දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ගය අග්බෝ ඇතා ආරක්ෂිතව සුදුසු වනයට මුදා හැර සංරක්ෂණය කිරීම බවද ප්‍රකාශ කළ ස්ථානාධිපතිවරයා ඒ අනුව අග්බෝ ඇතා තිරප්පනේ ප්‍රදේශයේ සිට ආරක්ෂිතව රැගෙන ගොස් සුදුසු වනයකට මුදා හැර සංරක්ෂණය කරන ලෙසට වනජීවී දෙපාර්තමේතුවට නියෝග කරන්නැයිද අයැද සිටියේය.
මේ අතර ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ නිසි අවසරයක් ලබා නොගෙන තිරප්පනේ ඇතුන්ගම ප්‍රදේශයේ ඉහල අහසට ග්‍රෑම් 750ක් පමණ බරැති අධිතාක්ෂණික ඩ්‍රෝන කැමරාවක් නීතිවිරෝධීව ගුවන්ගත කර ඇතුන්ගම ප්‍රදේශයේ සැරිසරමින් සිටි අග්බෝ ඇතා වීඩියෝගත කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තිරප්පනේ පොලීසියට නියෝග කර තිබේ.
අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අධිකරණයට දැනුම් දුන්නේ ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ පූර්ව අවසරයකින් තොරව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පූර්ව දැනුම් දීමකින් තොරව තිරප්පනේ ඇතුන්ගම ප්‍රදේශයේ ඉහළ අහසට අධිතාක්ෂණික ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ අවස්ථාවේ යම් හෙයකින් එම ප්‍රදේශයේ ඉහළ අහසේ ගුවන්යානයක් පියාසර කළේ නම් අනතුරක් ඇති වීමේ අවදානමක් තිබූ බවයි.
ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කිරීම නිසා අග්බෝ ඇතා කලබලයට පත්ව ඇති බවද ගුවන් හමුදාව ස්වකීය වාර්තාව මගින් අධිකරණයට දන්වා ඇත. ඩ්‍රෝන කැමරාව සමග සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රද්ධා ගුවන්විදුලි හා රූපවාහිනි ආයතනයේ වැඩසටහන් අංශයේ සේවකයා දැනට ඇප මත මුදා හැර සිටින අතර, මෙසේ ඇප මත මුදා හැර සිටිනුයේ මහව කුඹුක්වැව සුමුදු මාවත අංක 147 ලිපිනයේ ආර්.එම්. රසික තිලකරන්න නමැත්තෙකි.
මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් තිරප්පනේ පොලීසිය කියා සිටියේ තම ගුවන් සේවා අධිකාරියේ කිසිදු අවසරයකින් තොරව තිරප්පනේ ඇතුන්ගම ප්‍රදේශයේ ඉහළ අහසේ අධිතාක්ෂණික ඩ්‍රෝන කැමරාවක් පියාසර කරන බවට මීරිගම සිවිල් ගුවන් සේවා අධිකාරි මධ්‍යස්ථානය මගින් තිරප්පනේ පොලීසියට දැනුම් දීමක් කළ බවයි.
එකී දැනුම් දීමට අනුව විමර්ශන මෙහෙයවා නීතිවිරෝධීව තිරප්පනේ ඇතුන්ගම ප්‍රදේශයේ ඉහළ අහසට නංවා තිබූ අදාළ ඩ්‍රෝන කැමරාව සහ එය පරිපාලනය කරමින් සිටි සැකකරු අත්අඩංගුවට ගත් බවද තිරප්පනේ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් කුමාරසිංහ සහ සැරයන් (7854) එදිරිසිංහ යන මහත්වරුන් අධිකරණයට කරුණු දැක්වූහ.
අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද