ග්‍රාම නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන නිසා අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අඛණ්ඩව සිදුකරමින් මැතිවරණ රාජකාරි නිසි ලෙස සිදුකිරීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
දෝෂ සහිතව සකස් කර තිබෙන සේවාව ව්‍යවස්ථා කෙටුම්පත ඉවත් කර ග්‍රාම නිලධාරි වෘත්තීය සමිති සකස් කර රජයට භාර දී තිබෙන සේවා ව්‍යවස්ථාවට අදාළ යෝජනා ක්‍රියාත්මක කළ යුතු බවද එම සන්ධානය සඳහන් කරයි. එසේ තිබියදී බලහත්කාරයෙන් දෝෂ සහිතව සකස් කර තිබෙන සේවා ව්‍යවස්ථාවට අදාළ කෙටුම්පත ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගනිමින් සිටින බවත්, මෙයට විරෝධය දක්වන බවත් සන්ධානය පෙන්වා දෙයි.
දීමනා ගැටලු සම්බන්ධයෙන් ගැටලු රැසක් ඇති වි තිබෙන බවත්, එම ගැටලු විසඳීමට බලධාරීන් උනන්දු නොවන නිසා ගැටලු විසඳන ලෙස ඉල්ලා මේ මස 01 වැනි දින සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුකරන බවත් සඳහන් කරයි. මේ වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබෙන නිසා ග්‍රාම නිලධාරීන්ට මැතිවරණ රාජකාරි සිදුකිරීමට සිදුව තිබේ.
ජනතා පරමාධිපත්‍ය තහවුරු කිරීම සඳහා මැතිවරණය පැවැත් වෙන හෙයින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් සිදුවුවත් මැතිවරණ රාජකාරි නිසි ලෙස සිදුකිරීමට තීරණය කර තිබෙන බවත්, මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දීමටත් කටයුතු කළ බවත් සන්ධානය පෙන්වා දෙයි.