අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම අලුත් දිශාවක් වෙත යොමු වන බව ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබ්බොට් පවසයි.
එනම්, සාගර පතුලේ තවත් විශාල කලාපයක් වෙත සෝදිසි මෙහෙයුම් යොමු කෙරෙනු ඇති බව අගමැතිවරයා අවධාරණය කර තිබේ.
එමෙන්ම, මේ වනවිට සාගරයේ පාවෙමින් පවතින සුන්බුන් ගැන බලාපොරොත්තු තැබිය නොහැකි නිසා ගුවන් සෝදිසි නතර කරන බවද හෙතෙම පවසා තිබේ.
මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය පසුගිය මාර්තු 08 වැනිදා පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූයේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං දක්වා ගමන් කරමින් සිටියදීය.
යානය රේඩාර් තිරයෙන් මැකී ගිය නිසා ආරම්භයේදී එහි ගමන් මාර්ගය නිශ්චිතව තීරණය කිරීම දුෂ්කර වුවත්, අවසානයේ චන්ද්‍රිකා දත්ත උපයෝගී කරගෙන යානය දකුණුදිග ඉන්දීය සාගරයේ, ඔස්ට්‍රේලියාවට ඔබ්බෙන් සිය ගමනාන්තය අවසන් කර ඇති බව විශ්වාස කෙරිණි.
නමුත්, යානය සිය ගමන් මාර්ගයෙන් හරවා එම කලාපය වෙත ගමන්කර තිබුනේ ඇයිද යන පැණයට තවමත් පිළිතුරු සැපයී නොමැති අතර, සැබවින්ම යානයට සිදුවූ දෙය සොයා ගැනීම සඳහා කළු පෙට්ටිය සොයා ගැනීම සඳහා සියලු ප්රයත්නයන් දරමින් සිටී.
"MH370 යානය අතුරුදන් වී මේ වනවිට දින 52ක් ගෙවී අවසන්. යානය සෙවීමේ සෝදිසි මෙහෙයුම් අලුත් දිශාවක් වෙත යොමු වී ඇති බව පැවසීමට මා මෙහි පැමිණියා" යැයි ඔස්ට්‍රේලියානු අගමැතිවරයා කැන්බෙරා හි මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේය.
යානයේ කළු පෙට්ටියෙන් නැඟුණු සංඥා බවට සැකකළ සංඥා කිහිපයක් ඔස්සේ යමින් බ්ලූෆින්-21 නමැති මිනිසුන් රහිත සබ්මැරීනය සාගර පතුලේ මූලික මෙහෙයුම සිදු කළත් ඉන් කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ අතර, ඒ හේතුවෙන් මෙලෙස නව කලාපයක් වෙත මෙහෙයුම දීර්ඝ කිරීමට සැරසෙන බව කියැවෙයි.
එහිදී, ඉදිරි මෙහෙයුම සඳහා ඇ.ඩො.මිලියන 60ක පමණ ඇස්තමේන්තු වියදමක් යන බැවින් ඒ වෙනුවෙන් වෙනත් රටවල ආධාරයන්ද ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වන්නේ, සෝනාර් සිතියම් සැකසීමේ බ්ලූෆින්-21 වැනි මිනිසුන් රහිත තවත් සබ්මැරීන යොදා ගැනීම සඳහාය.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා අවධාරණය කරන්නේ යානය සොයා ගැනීමේ මෙහෙයුම අවසන් නොමැති බවය.
"මිනිසුන් හැටියට අපට කළ හැකි හැමදෙයක්ම මේ අභිරහස සොයා ගැනීම සඳහා කරනවා" යැයි අගමැතිවරයා පවසා සිටියේය.