ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත යුද පුහුණුව ලබාදීමට බ්‍රිතාන්‍යයේ SAS විශේෂ බලකා රෙජිමේන්තුවේ හිටපු නිලධාරීන්ට බ්‍රිතාන්‍ය රජය විසින් 80 දශකයේදී අවසර ලබාදී ඇති බව මෑතකදී ප්‍රසිද්ධ කෙරුණු එරට රජයේ ලියවිල්ලකින් තහවුරු වන බව ගාඩියන් පුවත්පත පවසයි.
ඉන්දියාවේ අම්රිත්සාර් නුවර රන් දෙවොලට ප්‍රහාරය එල්ල වූ සමයේදී මෙසේ ශ්‍රී ලංකා හමුදා පුහුණු කිරීම සඳහා බ්‍රිතාන්‍ය SAS විශේෂ බලකායේ විශ්‍රාම ගිය නිලධාරීන්ගෙන් සමන්විත බ්‍රිතාන්‍ය සමාගමකට එවකට බලධාරීන්ගේ අනුමැතිය හිමිවී තිබූ බව ගාඩියන් පුවත්පත වාර්තා කරයි.
පුවත්පත පෙන්වාදෙන පරිදි මෙහි තවත් ලියවිල්ලකින් තහවුරු වී ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුවට යුද හමුදා ආධාර ලබාදීම නවත්වන මෙන් එවකට ඉන්දීය අගමැතිනී ඉන්දිරා ගාන්ධී මහත්මිය 80 දශකයේදී බ්‍රිතාන්‍ය අගමැතිනී මාග්‍රට් තැචර් මහත්මියගෙන් ඉල්ලීමක් කර ඇති බවය.
ඒ අනුව, 1984 ජූනි මාසයේදී සිදුවූ රන් දෙවොලේ ප්‍රහාරයට මාස කිහිපයකට ප්‍රථම බ්‍රිතාන්‍ය SAS විශේෂ බලකා රෙජිමේන්තුවේ නිලධාරීන් විසින් ඉන්දීය හමුදා භටයන් පුහුණු කරන ලද බව දැක්වෙන ලිපිලේඛන අනාවරණය වීමෙන් දින කිහිපයකට පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද ඉන්දියාව සහ බ්‍රිතාන්‍ය අතර අදහස් හුවමාරු වූ බවට එකී ලියවිලිවලින් සනාථ වන බවද ගාඩියන් පුවත්පත පෙන්වා දෙයි.
මෙහිදී, බ්‍රිතාන්‍ය සමාගම ශ්‍රී ලංකාවේ හමුදා පුහුණු කිරීම පිළිබඳව මතභේද මතුවී ඇති බව සහ විශේෂයෙන්ම ඉන්දීය ආණ්ඩුව ඊට විරෝධය පළ කොට ඇති බව එවකට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ජෙෆ්රි හෝව්ගේ ලේකම්වරයා අගමැතිනී මාග්‍රාට් තැචර් මහත්මියගේ ලේකම්වරයාට ලිපියකින් දැනුම් දී තිබේ. කෙසේ වෙතත් එය පෞද්ගලික සමාගමක වාණිජ කටයුත්තක් නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඊට සම්බන්ධ නැති බව දැනුම් දුන්නේ යැයිද බ්‍රිතාන්‍ය ලේකම්වරයා සිය ලිපියේ සඳහන් කොට ඇති බව වැඩිදුරටත් සඳහන් වී තිබේ.
කෙසේ වෙතත්, ජනවාර්ගික අර්බුදයට විසඳුම් සෙවීම පිණිස එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් කැඳවා තිබූ සර්ව පාක්ෂික සමුළුවේදී දෙමළ ජනතාවගේ ගැටලුවලට තිරසාර විසඳුමක් සොයාගන්නා මෙන් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙසද ඉන්දිරා ගාන්ධි මහත්මිය දන්වා ඇතැයිද එකී ලියවිලිවලින් පැවසෙන බව පුවත්පත පවසයි.
මුහුණදී සිටින හා විසඳිය යුතු දේශපාලන අර්බුදයකින් ගොඩඒමට හමුදා ආධාර හා කැරලි මර්දන ආධාර පමණක් ප්‍රමාණවත් නොවන බව එහිදී ඉන්දිරා ගාන්ධි මහත්මිය මාග්‍රට් තැචර් මහත්මිය වෙත වැඩිදුරටත් දන්වා ඇති බවද ගාඩියන් පුවත්පත පෙන්වා දෙයි.
මේ කාලයේදී රටේ උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු අනෙකුත් සංවිධාන මර්දනය කිරීමට ශ්‍රී ලංකා රජය උත්සාහ ගනිමින් සිටි බවද ගාඩියන් පුවත්පත වැඩිදුරටත් පවසයි.