IS ඉස්ලාම් රාජ්‍ය විසින් තම යුද අමාත්‍යවරයා ලෙස හැඳින්වූ, එම සංවිධානයේ ප්‍රධාන යුද උපදේශකයෙකු ලෙස කටයුතු කළ අබු ඕමාර් අල්-ෂිෂානි ජීවිතක්ෂයට පත්ව තිබේ.
දකුණුදිග මොසිල් නගරය ආසන්නයේදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉස්ලාම් රාජ්‍යය හා සම්බන්ධන ප්‍රධාන පුවත් ජාලය ස්ථිර කර ඇත. ඉරාක බලධාරීන් විශ්වාස කරන්නේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ බල කඳවුරක් වන මොසුල් නගරයට කි.මී. 100ක් ඔබ්බෙන් වූ ෂිර්ඛාත් නගරයේ සිදුවන ගැටුම්වලදී ඔහු ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවය.
ඉරාක හමුදාව මේ වනවිට ෂිර්ඛාත් නගරයේ බොහෝ ප්‍රදේශවල බලය තහවුරු කරගනිමින්, එහි උතුරු දෙසට ගමන් කරන්නේ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තවාදයේ හදවත බඳු මොසුල් හි සම්පූර්ණ බලය තහවුරු කර ගැනීම සඳහාය.
මීට පෙර පසුගිය මාර්තු මාසයේදී ඇමෙරිකනු ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පෙන්ටගනය කියා සිටියේය. එමෙන්ම, ඔහුගේ හිස වෙනුවෙන් ඇ.ඩො.මිලියන 5ක ත්‍යාගයක් ලබාදීමට ඔවුන් එවකට කටයුතු කළේය. නමුත්, ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් ඇමෙරිකාවේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින්, ඔහු ඒ අවස්ථාවේදී තුවාල ලබා ජීවිතය බේරාගත් බව කීය. නමුත්, පෙන්ටගනය පවසන්නේ, එදා ජීවිතක්ෂයට පත්වූ අල්-ෂිෂානිගේ මරණය ඉස්ලාම් රාජ්‍ය දැන් තහවුරු කරන බවය.
30 වැනි වියෙහි පසුවූ අල්-ෂිෂානි ඔහුගේ තඹ වර්ණයෙන් යුතු දිගැටි රැවුල නිසා වඩාත් ප්රකටව සිටි අයෙකි. ජෝජියානු-චෙචේන් පවුලකට දාව උපත ලබා තිබූ ඔහු ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් හා එක්වීමට පෙර ජෝජියානු හමුදාවේ සේවය කර තිබූ බවත්, මීට වසර තුනකට පමණ පෙර අන්තවාදීන් සමග එකතු වී ඇති බවත් බුද්ධි තොරතුරු වාර්තා වෙයි.
ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත නායක අබු බකර් අල්-බග්දාදිගේ සමීපතමයෙකු වූ මොහු, ප්‍රධාන යුද උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති බවද කියැවෙයි. කෙසේ වෙතත්, මේ වනවිට ඉරාකයේ මෙන්ම, සිරියාව තුළද ඉස්ලාම් රාජ්‍යයේ බලය ක්‍රමයෙන් හීන වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. එහිදී, ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ හමුදාවන්ගේ ප්‍රහාරත්, සිරියානු හා ඉරාක හමුදාවන්ගේ ප්‍රහාරත්, රුසියාවේ ප්‍රබල ගුවන් ප්‍රහාරත්, එම රටවල ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාහේ අඩාල කර ඇති බවද එම මාධ්‍ය අනාවරණය කරයි.