විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම ඇතුළුව දේශපාලනය තුළ කාලීනව සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකඅනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (18දා) බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ දී පැවැත්වීය.
මෙහිදී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් සමඟ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නියෝජිතයන්වන ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න,නීතීඥක්රිෂාන්ත වැලිඅමුණු,නීතීඥ නිමල් පුංචි හේවා යන මහත්වරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ද මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගීවූහ.
එම සාකච්ඡාවේදී විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම අත්‍යවශ්‍ය බව දෙපාර්ශ්වයේම නියෝජිතවරුන්ගේ අදහස විය.
විධායක ජනාධිපති බලය අහෝසි කිරීමෙන් පමණක් රටේ පවතින අර්බුද හමුවේ විසඳුම් නොලැබෙන බව පෙන්වාදුන් ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයෝ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමත් සමඟ ප්රතිගාමී කඳවුරකට යළිත් බලය අත්පත්කර ගැනීමට පවතින ඉඩකඩ අහුරාලමින් රටේ ප්රජාතන්ත්රවාදය, යහ පාලනය, මානව නිදහස සුරැකෙන සමාජ ආර්ථික වෙනසක් සඳහා පිය නැගීමේ දැඩි අවශ්‍යතාවත් එය ඉටු කිරීම සඳහා වූ පුළුල් වැඩපිළිවෙළක අවශ්‍යතාවත් පෙන්වා දුන්හ.
වර්තමානයේ දී රට තුළ ඇතිවී තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජ අර්බුද පිළිබඳවත් දෙපාර්ශ්වය අතර මෙහි දී දීරිඝ ලෙස සාකච්ඡා සිදුවූ අතර, ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරයණයේදී මේ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු කිරීමට හැකියාව තිබෙන බවද දෙපාර්ශ්වයේම නියෝජිතවරු අදහස් දක්වමින් පැවසූහ.
මෙම කරුණුවලට අමතරව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය සකස් කර ඇති 17 වැනි ව්‍යවස්ථාව බලාත්ම කිරීම හා විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම යන යෝජනාවලිය පිළිබඳවද ජනතා විමුක්ති පෙරමුණ අවධානය යොමුකරන බවද ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයෝ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු පිරිසට පවසා සිටියහ.
දෙපාර්ශ්වය අතර පැවති දීර්ඝ සාකච්ඡාව ඉතා සාර්ථක වූ බවත් ඉදිරියේ දී තවදුරටත් අදාළ කරුණු පිළිබඳව පුළුල්ලෙස සාකච්ඡා කිරීමටත් දෙපාර්ශ්වයේ නියෝජිතයෝ එකඟතාවකට එළඹී තිබේ.