රටක් වේගයෙන් සංවර්ධනය කරා ගමන් කිරීමේදී සුළු පරිමාණ ව්‍යවසායකයින්ද ඉතා වැදගත් කොටසක් බවත්, ඔවුන් දිරිගැන්වීම පිළිබඳ රාජ්‍ය බැංකුවල අවධානය වඩාත් යොමු විය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.
මහජන බැංකුවේ සේවයට අලුතින් බඳවාගත් ගනුදෙනුකාර සේවා සහයකයින් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, කොළඹ ව්‍යාපාරිකයින්ට පමණක් ණය දීමට සීමා නොවී ගමේ සුළු ව්‍යාපාරිකයින්ද නඟාසිටුවීමට කැපවීම රාජ්‍ය බැංකු සතු වගකීමක් බවය.
බස්නාහිර සහ දකුණු පළාත නියෝජනය වන පරිදි නව ගනුදෙනුකාර සහායකයින් 400 දෙනෙකුට මෙහිදී පත්වීම් ප්රදානය කෙරිණි.
සුළු ව්‍යාපාරිකයින් පිළිබඳ අපගේ පවතින ආකල්ප පවා වෙනස් විය යුතු බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඔවුන් නිසි ලෙස මෙහෙයවීමෙන් දියුණුව කරා රැගෙන යාමට බැංකු සමත් විය යුතු බවද පැවසීය.
ජනතා අවශ්‍යතාවන් ඉටු කිරීමේදී ජනතාව පිළිබඳ සිතා තීරණ ගැනීමට රාජ්‍ය බැංකුවලට වගකීමක් ඇති බවද පැවසූ ජනාධිපතිවරයා, එසේම සමාජ සුබසාධනය සහ රටේ සංවර්ධනය පිළිබඳ රාජ්‍ය බැංකුවල විශේෂ අවධානයක් යොමු විය යුතු බවද පවසා සිටියේය.
ජනතාව අතර ඉතා හොඳ ගනුදෙනු ජාලයක් ගොඩනඟා ගනිමින් ගනුදෙනුකරුවන් දෙස සුබවාදීව බලමින් කටයුතු කිරීමට රාජ්‍ය බැංකු කටයුතු කළයුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ගනුදෙනුකාර සේවා සහායකයින් දහසක් මහජන බැංකුවට බඳවා ගෙන ඇති අතර ඉන් 600කට ජනාධිපතිතුමා අතින් පසුගිය පෙබරවාරි මාසයේදී පත්වීම් ප්රදානය කෙරිණි.
එම දිනවල පැවති බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය නිසා කල් තැබුණු එම පළාත් දෙකෙහි පත්වීම්ලාභීන්ට පත්වීම් ප්රදානය මෙලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, ජාත්‍යන්තර මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, අමාත්‍යවරුන් වන මහින්ද යාපා අබේවර්ධන, ඩග්ලස් දේවානන්ද, එස්. එම්. චන්ද්‍රසේන, නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී මහජන බැංකුවේ සභාපති ගාමිණි එස්. සෙනරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.