සිගරට් සමාගම්වලින් 90% ක් දක්වා බදු අය කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාවක් එළඹෙන සතියේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා පවසා සිටියේ, 2020 වන විට දුම්කොළ වගාව නතර කිරීමට වත්මන් රජය සූදානම් වන බවයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සෞඛ්‍ය සේවාවේ සේවය කිරීමට කැමැත්ත පළ කළ වෛද්‍යවරුන් 1034 දෙනෙකු සඳහා පුරප්පාඩුව ඇති රෝහල් වලට පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීම පෙරේදා (26දා) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා ශ්‍රවණාගාරයේදී පැවති අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
හෙතෙම පෙන්වා දුන්නේ දුම්කොළ සහ මධ්‍යසාර වලින් වාර්ෂිකව බිලියන 187ක බදු මුදලක් රජය විසින් අයකර ගත්තද, ඒවා භාවිත කිරීමෙන් රෝගී වන්නන්ට ප්‍රතිකාර සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 200 ක් වැය වන බවයි.මේ හේතුවෙන්, මත්පැන් හා මධ්‍යසාර අවම කිරීම සඳහාත් ඉදිරියේදි තීරණ ගැනෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.උත්සව සභාව අමතමින් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය.
"සමහරු වැට් බදු ගැන කතා කරනවා. ඒ අය දන්නෙ නැහැ මුදල් අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ලේ පරීක්ෂණ යන්ත්‍ර සියලුම රෝහල්වලට ලබාදීමට පියවර ගෙන තිබෙනවා කියලා. පිළිකා රෝගීන්ට නොමිලේ ඖෂධ ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා කියලා. ආණ්ඩුව හැදුව අපිට මේ රජයෙන් මුදල් ලබාගන්න බැරිනම් මේ රජයේ ඉඳලා වැඩක් නෑ. මම කතා කරලා මුදල් ලබාගන්න වැඩපිළිවෙළ සකස් කරලයි තිබෙන්නේ. නවක වෛද්‍යවරුන්ට තියෙන්නේ අසරණ දුප්පත් ජනතාවගේ රෝග නිවාරණ සටන පෙරමුණට ගෙන කටයුතු කිරීමටයි.
වෘත්තීය සමිති සමග සාකච්ඡා කරලා වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට ඉදිරියේදී පියවර ගන්නවා. විශ්‍රාම වැටුප් වැඩි කිරීමටත් පියවර ගන්නවා. ලබන සතියේ වෛද්‍යවරුන් සඳහා වාහන බලපත්‍ර ලබාදීමේ චක්‍රලේඛය නිකුත් කරනවා. දේශපාලන තීන්දු තීරණවල වෙනසක් වෙන්නෙ නෑ. උපායමාර්ගික වැඩපිළිවෙළ විතරයි වෙනස් කරන්නේ. රෝගීන් සමග ඔබලා හොඳින් කතා කරන්න, ඖෂධ වලින් නොලැබෙන සහනයක් එයින් ලැබෙනවා. ඒ වගේම ඔබලාට මෙම රැකියාවෙන් පිං ලැබෙනවා"
මෙම අවස්ථාවට, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් අනුර ජයවික්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් හරිත අලුත්ගේ මහතා ඇතුළු නිලධාරීන් රැසක්ද සහභාගී වී සිටියහ.