දශක පහකට අධික කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සාමසාධක ප්රයත්නයන්ට ශ්‍රී ලංකාව සිය ශක්ති ප්‍රමාණයෙන් දායකත්වය ලබා දී ඇති බවත්, එය තවදුරටත් වර්ධනය කිරිමට කැපවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සාමසාධනය පිළිබඳ පෙරේදා (28දා)පැවැති සමුළුව අමතමිනි.
"එක්සත් ජාතීන්ගේ සාම සාධනය සඳහා වර්තමානය වනවිටශ්‍රී ලංකාවේ භට පිරිස්, යුද නිරීක්ෂකයන් හා සිවිල් පොලිස් කණ්ඩායම්ද ඇතුළුව 529 දෙනෙකු දායකත්වය ලබා දී තිබෙනවා. මේ අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධනය සඳහා ශ්‍රී ලාංකික දායකත්වය වැඩි කිරීමට මා කැපවන බව කියන්නට කැමතියි.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වලට දැනට පවතින ඌනතාවලට ප්‍රතිචාර වශයෙන් සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් දෙකක් සහ ක්ෂේත්‍ර ඉංජිනේරු ඛණ්ඩ දෙකක් සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා. තවද ඉක්මනින් රාජකාරියේ යොදවාගැනීමට හැකි වන පරිදි පාබල හමුදා බළකායක්ද, විශේෂ කාර්ය භට කණ්ඩායම් දෙකක්ද, සංග්‍රාමික ඉංජිනේරු කණ්ඩායමක්ද සැපයීමට අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඒ වගේම නිත්‍ය සේවාවේ යෙදවීම සඳහා පාබල හමුදා බළකායන් තුනක්ද, පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ එක් කණ්ඩායමක් සහ බලඇණි ආරක්ෂක කණ්ඩායමක්ද සැපයීමට අපි පොරොන්දු වෙනවා. මීට අමතරව පොලිස් ඒකක දෙකක් සැපයීමටද අපි සූදානම්ව සිටිනවා.