ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාම දුම්වැටි දවටනවල 80 % ක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කළ යුතු බවට අනුමැතිය ලබාදී තිබියදී 50 % -60 % අතර රූපමය අවවාද ඇතුළත් කරන්නැයි අධිකරණය ලබා දුන් තීන්දුවෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් සටන අත්නොහරින බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (13දා) අවධාරණය කළේය.
අධිකරණ තීන්දුවට ගරුකරන අතරම ගැසට් නිවේදනය අනුව 80% ක රූපමය ඇතුළත් කිරීමට ගෙන යන සටන කිසිසේත්ම අත්නොහරින බවත් ඒ සඳහා කැපවී කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේය.
කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ පෙරවරුවේ පැවති හෙද පුහුණුවට සිසු සිසුවියන් 2500 ක් බඳවා ගැනීමේ ලිපි ප්‍රදානෝත්සවයට එක්වෙමින් සිරිසේන මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දුම්පානය හේතුවෙන් දිනකට පුද්ගලයන් 65-70 අතර මිය යන බවත් මත්ද්‍රව්‍ය භාවිතය නිසා දිනකට පුද්ගලයන් 200 ක් පමණ මරණයට පත්වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
මෙම කරුණු සැලකිල්ලට ගෙන දවටනවලින් 80% ක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කළ යුතු බව තීරණය කළ බවත්, එය ඊට වඩා අඩු කිරීමෙන් තමන් ගත් ක්‍රියාමාර්ගවල සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකි වන බවත් සිරිසේන මහතා පවසා සිටියේය.
නමුත් පනතේ අවශ්‍යතාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ සහ මද්‍යසාර වැළැක්වීමේ ප්රඥප්තියේ නෛතික ප්‍රතිපාදන අනුව සෞඛ්‍ය ඇමතිවරයාට එයට බලතල ඇති බවට පෙන්වා දුන් කරුණ සම්බන්ධයෙන් අධිකරණයට ස්තුතිය පළකරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.