මේ මොහොත වනවිට ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමක් නොමැති බවත්, ලාංකීය විසඳුමක් තුළ ශ්‍රී ලංකාවට යහපතක් සිදුවනු දැකීම ඇමෙරිකාවේ බලාපොරොත්තුව බවත්, එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නිශා දේසායි බිස්වාල් මහත්මිය පවසා සිටියාය.
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙසේ අදහස් දක්වා සිටියේ සිය සංචාරය පිළිබඳ කරුණු දැක්වීමට අද (01දා) පස්වරුවේ කොළඹ ඇමෙරිකානු මධ්‍යස්ථානයේදී කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාව අමතමිනි.
“ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයට දීර්ඝ ඉතිහාසයක් පවතිනවා. දෙරට අතර ඇති සම්බන්ධය රටවල් දෙකක් අතර පවතින සම්බන්ධතාවට වඩා ජනතාව හා සංස්කෘතිය අතර පවතින සම්බන්ධතාවක් යැයි පැවසීම නිවැරදියි. ඇමෙරිකානු රජය ශ්‍රී ලංකා රජයේ සංහිදියාව හා වගවීමේ ක්‍රියාවලියට සම්පූර්ණ සහයෝගය ලබාදීමට සැබවින්ම සූදානමින් සිටිනවා. අපේ එකම බලාපොරොත්තුව ලාංකික විසඳුම් ක්‍රියාවලියකුයි. එනමුදු, ප්රතිසංවිධානයේදී දක්වා ඇති මන්දගාමී ස්වභාවය කලකිරීමට හේතුවක් බව පැවසිය යුතුයි. මා නියෝජනය කරන රටට මෙන්ම, අන්තර්ජාතිකවත් ඒ කලකිරීම පවතිනවා. ඒ වගේම, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනෙන යෝජනාවේ කරුණු ගැන මට දැන්ම ප්‍රකාශයක් කිරීමට නොහැකියි. කෙසේ වෙතත්, වසර පහකට ආසන්න කාලයක් ගතවී ඇතත් ප්‍රතිසංවිධානය පිළිබඳ වැදගත් පියවර තවමත් ගෙන නොමැති බව පෙනෙනවා. නමුත්, ඒ ප්‍රතිසංවිධානය එක් රැයකින් සිදුවිය යුතු යැයි අප බලපොරොත්තු වන්නේත් නැහැ. එනමුත්, අවංකවම එවැනි ක්‍රියාවලියක් සිදුවන බව ඒත්තු ගැන්වෙන ආකාරයේ වාතාවරණයක් රට තුළ ඇති කළ යුතුයි.” යනුවෙන් සහකාර රාජ්‍ය ලේකම්වරිය පවසා සිටියාය.
මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමේ සූදානමක් පවතින්නේදැයි සහකාර රාජ්‍ය ලේකම්වරියගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඇය කියා සිටියේ, “මේ අවස්ථාවේදී ආර්ථික සම්බාධක පැනවීම සම්බන්ධයෙන් අපේ අවධානයක් යොමුවී නැහැ. අපේ අවශ්‍යතාව වන්නේ ලාංකිය විසඳුමක් තුළ ශ්‍රී ලංකාවට යහපතක් සිදුවනු දැකීමයි.” යනුවෙනි.
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරිය අද (01දා) උදෑසන යාපනය සංචාරයකද නිරත විය. උතුරේ සංචාරය අරඹමින් යාපනය නල්ලූර් කෝවිලට හා නාග විහාරයට ගිය ඇය, යාපනය රදගුරු නිවසේදී යාපනය රදගුරු තෝමස් සෞන්ද්‍රනායගම් පියතුමා මුණගැසී පැයක පමණ කාලයක් සාකච්ඡා කර ඇති බවද පැවසෙයි. අනතුරුව ඇය සාමාන්‍ය ජනතාව, සිවිල් සංවිධාන නියෝජිතයන් සහ උතුරු පළාත් සභා දෙමළ සන්ධාන මන්ත්රීනී ආනන්දි ශශිධරන් මහත්මිය අද දහවල් හමුවී තිබුනේ යාපනය ග්‍රීන් ග්‍රාස් හෝටලයේදීය. ඉන්පසුව, සහකාර රාජ්‍ය ලේකම්වරිය උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා සමග උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.
අද (01දා) දිවයිනෙන් පිටත්ව යන එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරිය ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී ඇමෙරිකාව ශ්‍රී ලංකා සම්බන්ධයෙන් ගෙනෙන යෝජනාව මෙහෙයවීමට නියමිතය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 25 වැනි සැසිවාරය ලබන මාර්තු මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතය.