ඉන්දියාවේ නවදිල්ලියේ සිට තමිල්නාඩුව හරහා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සූදානම් කර තිබූ මත් කුඩු කිලෝ ග්‍රෑම් 10 ක් සමග 35 හැවිරිදි ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට නවදිල්ලි පොලීසිය පෙරේදා (25) සමත්වී තිබේ. අත්අඩංගුවට ගත් මත් කුඩු තොගයේ වටිනාකම රැපියල් කෝටි 84 ක් (ඉන්දියානු රුපියල් කෝටි 40) බවද දිල්ලි පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයාගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කරන ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවේ කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානමින් තිබූ බවත්, ඉන් අනතුරුව එම මත් කුඩු කොළඹින් යුරෝපයට හා මලයාසියාවට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ බවයි.
සතියක් ඇතුළත ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට ඇතුළු මැදපෙරදිග රටවල් සඳහා බෙදාහැරීමට තිබූ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් දෙවැනි අවස්ථාව මෙය විය. මීට ඉහතදීද මත්කුඩු කිලෝ ග්‍රෑම් 90 ක් සහිතව ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දිල්ලි පොලීසිය සමත් විය.
දිල්ලි දුම්රිය ස්ථානයේදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මොහොමඩ් ඩාරික් නමැත්තෙකි. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු තවදුරටත් පවසා ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය ඇෆ්ගනිස්තානයේ සිට පාකිස්තානය හරහා ඉන්දියාවට රුගෙන ආ බවයි.