ශ්‍රී ලංකාව සමග ඵලදායී සබඳතා ඇති කරගන්නා ලෙසත්, අතීතය ගැන විමසනු වෙනුවට අනාගතය දෙස බලන ලෙසත් සිංගප්පූරුවේ විදේශ අමාත්‍ය සහ අධිකරණ අමාත්‍ය කේ. ශන්මුගම් මහතා සෙසු රටවලින් ඉල්ලා සිටියි.
නිල සංචාරයක් සඳහා මේ වනවිට දිවයිනට පැමිණ සිටින අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ අද (03දා) සවස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීය.
'ශ්‍රී ලංකාවේ ජනතාවට දැන් සැබවින්ම අවශ්‍යව ඇත්තේ සංවර්ධනයයි, ජනතාව සැබවින්ම උනන්දු වන්නේ තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය ගැනයි' යන්න ලෝකයට දැනුම්දීම සිය චාරිකාවේ ප්‍රධාන අරමුණ බව ශන්මුගම් මහතා පවසා සිටියි.
ජංගම පුස්තකාල ස්ථාපනය සහ ඉංග්‍රීසි ගරුවරුන් පුහුණු කිරීම ඇතුළු උතුරු පළාතේ ව්‍යාපෘති කිහිපයකට සිංගප්පූරු රජය ආධාර සපයමින් සිටින අතර, හෙට දිනයේදී යාපනයේ සංචාරයක නිරත වන ශන්මුගම් මහතා එම වැඩසටහන් ආරම්භ කිරීමට නියමිතය.
රටේ සෙසු ප්රදේශවලද මෙබඳු පුහුණු වැඩසටහන් හඳුන්වාදීම ගැන සලකා බලන්නැයි ජනාධිපතිවරයා සිංගප්පූරු අමාත්‍යවරයාට පවසා තිබේ.
දෙරටේ ජනතාව අතර මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවන් අතරද අන්තර් ක්‍රියාකාරකම් වර්ධනය ඇතුළුව ද්වීපාශ්වික සබඳතා ශක්තිමත් වී ඇති බව තමාගේ පිළිගැනීම යැයි ශන්මුගම් මහතා මෙහිදී පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර සබඳතා ඉතා යහපත් බව සඳහන් කළ අමාත්‍යවරයා වත්මන් ධනාත්මක පරිසරය තුළ එය තවත් දියුණුවනු ඇතැයි විශ්වාසය පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ අනේවාසික සිංගප්පූරු මහ කොමසාරිස් කරන් සිං තකරල්, සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ විධායක සභාපති ගෝපිනාත් පිල්ලේ යන මහත්වරු සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සමග පැමිණ සිටියහ.
විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරු සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම් ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය සාකච්ඡාවට සහභාගි වූහ.