ශ්‍රී ලංකා-චෙන්නායි ධීවර සාකච්ඡා හෙට (27දා) පෙරවරුවේ චෙන්නායි නුවරදී ආරම්භ වීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ඉන්දියානු මධ්‍යම රජයේ විදේශ අමාත්‍ය ෂල්මාන් කුර්ෂිඩ් මහතා හා ධීවර විෂය භාර කෘෂිකර්ම ඇමති ෂරාඩ් පවර් මහතා සමග ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පසුගියදා පවත්වන ලද සාකච්ඡා සහ එහිදී පත් කරගන්නා ලද ඉන්දු-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ධීවර කමිටුවේදී සාකච්ඡා කරන ලද කරැණු පදනම් කරගෙන මෙම චෙන්නායි සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අනුව, චෙන්නායි සාකච්ඡාවට සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට රජය නියෝජනය කරමින් 5 දෙනෙකු හා ධීවර සංවිධාන නියෝජනය කරමින් ධීවර නායකයින් 10 දෙනෙකු සහභාගි වීමට නියමිත බව කියැවෙයි.
රජයේ නිලධාරීන් පස් දෙනාට ඉන්දු-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ධීවර කමිටුවේ ශ්‍රී ලංකා පාර්ශ්වයේ නිලධාරීන් තිදෙනා වන ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් නිමල් හෙට්ටිආරච්චි, ධීවර අමාත්‍යාංශ උපදේශක ආචාර්ය එස්. සුභසිංහ, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා නියෝජනය කරමින් රජයේ නීති උපදේශක නුවන් පීරිස් යන මහත්වරැ සහභාගි වන බවත්, සෙසු නිලධාරීන් දෙදෙනා වන්නේ ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් සහකාර අධ්යක්ෂ ලාල් ද සිල්වා, මන්නාරම ධීවර සහකාර අධ්යක්ෂ බී.එස්. මිරින්ඩා යන මහත්වරු බවත් අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව ශ්‍රී ලංකා ධීවර නියෝජිත පිරිස නියෝජනය කරමින්, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, ත්‍රිකුණාමලය, මුලතිව්, පුත්තලම, මීගමුව යන ධීවර දිස්ත්‍රික්කයන්හි ධීවර සංවිධාන නායකයින් 10 දෙනෙකු සහභාගි වීමට නියමිත බව අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.