පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නායකත්වය දරන 'පිවිතුරු හෙටක්' ජාතික සභාව සංවිධානය කළ පොදු අපේක්ෂකයා බිහිකිරීමට අවශ්‍ය සමාජ බලය ප්‍රතිනිර්මාණය කිරීමේ පළමු මහජන රැලිය සඳහා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති රැසක් අත්වැල් බැඳගත්තේය.
'ඒකාධිපති බලතල අහෝසි කරන ජන රැල්ල' නමින් ඊයේ (12දා) කොළඹ ගංගාරාම මුත්තයියා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම රැලිය දින 4 ක් වැනි කෙටි කාලයකින් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා විශාල ජනතාවක් එක්ව සිටියහ.
එම අවස්ථාවට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නායකත්වය මණ්ඩල සභාපති කරු ජයසූරිය, රුවන් විජයවර්ධන, තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක, ජෝන් අමරතුංග, රෝසි සේනානායක, මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත, ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නන්දන ගුණතිලක, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, සමන් රත්නප්‍රිය ඇතුළු විශාල පිරිසක් සහය පළකරමින් එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, වර්තමාන පාර්ලිමේන්තුව හරහා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන්නේ නම් ඒ සඳහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි.
එසේම පිවිතුරු හෙටක් ජාතික සභාව නිර්මාණය කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්නැයි හෙළ උරුමයට උපදෙස් ලබාදුන් බවත්, ඊළඟ දවස් කිහිපයේදී අතුරලියේ රතන හිමියන් ඇතුළු එම පක්ෂය එය ඉටුකරනු ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම පවසා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වර ජනාධිපතිවරණට තරග කළ හැකි බවට පාර්ලිමේන්තුවේ සභා නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළත්, එය ලිඛිතව මන්ත්‍රීවරුන්ට ලබානොදුන් බවත්, එය සභාගත වී නොමැති බවත් පැවසූ වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුව තුට්ටුවකට ගණන් ගෙන නැතැයි එමගින් පැහැදිලි වන බවද සඳහන් කළේය.
මෙම රැලිය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සඳහන් කළේ, පොදු අපේක්ෂකයා බිහිකිරීමට අවශ්‍ය සමාජ බලය ප්‍රතිනිර්මාණය කිරීමට මෙම රැලිය සංවිධානය කළ බවයි. එම වේදිකාවේ සිටින සියලු දෙනා අවංකව කැපවුවහොත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම අසීරු නොවන බවත්, එතුමා පරාජය කිරීමට වටුවන් රැලක් පරිදි කැපවන බවත් පැවසූ උන්වහන්සේ, මැතිවරණයක් පැවැත්වුවහොත් අනිවාර්යෙන්ම ප්‍රතිපත්තිමය ආණ්ඩු මාරුවක් සිදුවනු ඇති බවත් ප්‍රකාශ කළහ.
ඊයේ (12දා) පැවැති රැලියට ආණ්ඩුවේ ඇමතිවරු කිහිපදෙනෙකු සහභාගී වෙතැයි තමන් වහන්සේ බලාපොරොත්තු වුවද, 19 වැනිදායින් පසු 10 කට වැඩි ඇමතිවරුන් පිරිසක් තමන් වහන්සේ සමග පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට ප්‍රසිද්ධියේ එක්වන බව ප්‍රකාශ කර තිබෙන බවත් පවසා සිටියහ.
පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා අදහස් දක්වමින්, මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට තුන්වැනි වරට තරග කළ හැකි බවට ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිනොගන්නා බව සඳහන් කළේය.
මෙම මැතිවරණය තියුණු මැතිවරණයක් බවට පත්කරමින් මැතිවරණය ළංවනවිට මහින්ද රාජපක්ෂ නොන්ඩි ගසන අශ්වයෙකු බවට පත්කළ යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මේ අතර මෙම රැලිය පැවැත්වෙන අවස්ථාවේදී නවම් මාවත ආසන්නයේ සිටි ජනතාවට පොලීසියෙන් හිරහැර කර තිබූ බවත්, ජනතාවගෙන් පිරිසකට රැලිය නැරඹීමට ඇති අවස්ථාව අහිමි කර තිබූ බවත් සංවිධායකයෝ සඳහන් කළහ.
මෙම රැලිය නැරඹීමට පැමිණි සිටි ජනතාව අතර ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න මහතාද විය.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ/ ඉසුරු පෙරේරා