ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වැට් බදු සංශෝධන පනත තුනෙන් දෙකේ බලයකින් ආණ්ඩු පක්ෂය ජයග්‍රහණය කරනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
දැනට ඒකාබද්ධ විපක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රි ධුර 56 ක් පමණක් තිබෙන බැවින් මෙම ප්‍රතිඵලය ලැබීමට ඉඩ ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලහප්පෙරුම මහතා,
“අපි වැට් බදු පැනවීමට එකඟ නැහැ. මහින්ද රාජපක්ෂගේ කාලයේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 400 ක් තියෙන අයට බද්ද පැනවූවා. ආණ්ඩුව අවසන් කාලයේ පිරිවැටුම 250 සීමාවට ගෙනාවා. පසුව රවි කරුණානනායක මේක මිලියන 100 ට ගෙනාවා. ගැසට් නිවේදනයෙන් මිලියන 100 රවුම මිලියන 12 කළා.
11% - 15% සීමාවට අමතරව සෞඛ්‍ය, අධ්‍යාපන ක්ෂ්ත්රවලට 0% සිට 15% දක්වා අය කරන බැවින් මීට විරුද්ධව අපි ඡන්දය පාවිච්චි කරනවා. පාර්ලිමේන්තුව ඇතුළෙ තිබෙන විකෘතිය නිසා තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට තිබෙනවා. වැට් බද්ද සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉන්නෙත් අපි ඉන්න ස්ථාවරයේමයි. ටීඑන්ඒ ස්ථාවරය තවම ආවේ නැහැ. ඒ විදියට ඒකාබද්ධ විපකෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එකතු වූ විට ඡන්ද 56 යි තියෙන්නේ.
ඒ නිසා ආණ්ඩුවට පැහැදිලිව තුනෙන් දෙකේ බලය ගන්න පුළුවන්. වැට් සංශෝධන පනත පාර්ලිමේන්තු ගර්භයේ පරාජය කිරීමට නොහැකියාවක් පෙනෙනවා. අපි දැනට සැකකරනවා ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු මෙයට සහාය දේවි කියලා.
මහබැංකු අධිපති ප්රශ්නයේදී හඬක් නැගුවා වගේ මෙතනදීත් අවංකව ජනතාව සමග සිටිමින් වැට් එකට විරුද්ධ වෙන්න කියලා ආණ්ඩුවට ගිය අපේ මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් පවසා සිටියේය.