2017 වසරේ දෙසැම්බර් වන විට ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ගෙන තිබූ තීරණය අවලංගු කර ඉදිරි වසර 05 ම සම්මුතිවාදී රජය තුළ සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් තීරණය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
වසර 05 ක් යනතුරු ආණ්ඩුව හෙළවීමට කිසිවෙකුට නොහැකි බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා දේශපාලන කුමන්ත්රණවලින් ආණ්ඩුව වෙනස් කළ නොහැකි බවද කියා සිටියේය.
ජනතාවට වූ පොරොන්දු නිසි ලෙසම ඉටු කිරීමට යහපාලන රජය කැපවී සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
කෝටි නව ලක්ෂයක ණය බර ඇතුළු ආර්ථීක අභියෝග සහ අන්තර්ජාතික වශයෙන් එල්ල වූ ප්‍රශ්න හමුවේ හිටපු ජනාධිපතිවරයා සිය ධූර කාලය ඉක්ම යාමට මත්තෙන් ජනාධිපතිවරණයකට ගිය බවත් අද වත්මන් රජය මුහුණ දී තිඛෙන්නේ එම රජය මුහුණදීමට සිටි අභියෝගවලට බවත් මෙහිදී පැවසූ ජනාධිපති සිරිසේන මහතා නිසි රාජ්‍ය ප්‍රතිපත්තින් සහ කළමණාකරනයක් තුළ එම සියලූ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් රටේ ජනතාවට සමෘද්ධිමත් දේශයක් ගොඩනගා දීමට කැපවන බව ද කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (30) පෙරවරුවේ පොළොන්නරු රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමිනි.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මසක් පුරා පැවති නිල මෙහෙවර ජාතික ජංගම සේවාවේ සමාප්ති උත්සවය මෙලෙස අද ජනාධිපති සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්විණි.