කරාතේ උපදේශක වසන්ත සොයිසාව අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තවත් පුද්ගලයන් තිදෙනෙකු නොවැම්බර් මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු උමේෂ් ශානක කලංසූරිය මහතා ඊයේ (04) වැනිදා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පදවිය පාර කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචි රවිනාත් අබේරත්න, සුරාජ් මධුසංක ද සිල්වා හා දෙවන පියවර දේවානම් පියතිස්සපුර අනුරාධපුර ලිපිනයේ පදිංචි නාමල් විමුක්ති දසනායක යන සැකකරුවන්ය .
සොයිසා ඝාතන සැලසුමේ මහ මොළකරු වන එස්.ෆ් ලොක්කා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන රණසිංහ ආරච්චිලාගේ ඉරෝන් රණසිංහ , ඔහුගේ සහෝදරයා වන රණසිංහ ආරච්චිලාගේ අසිත රණසිංහ ප්‍රවාහන පහසුකම් සැපයූ ව්‍යපාරික අමරසිංහ ආරච්චිලාගේ චන්දන හේමකුමාර අමරසිංහ, ඝාතනය සිදු කල බවට සැකකරන රත්නායක මුදියන්සේලාගේ විරාජ් චතුරංග, නාවික හමුදාවෙන් පළා විත් සිටින සෙබලුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 34 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.
අයුතු ජන රාශිය, නීතිවිරෝධී රැස්වීමක සමාජිකයන් වීම, මිනීමැරීම, මිනීමැරීමට තැත්කිරීම, කොල්ලකෑම, දේපළවලට අලාභ හානි සිදුකිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.