විදේශ රැකියාවේ නිරත වෙමින් සිටිය දී සිදුවූ විවිධ කරදර හා අනතුරු හේතුවෙන් අසරණ වූ ශ්‍රමිකයින්ට හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් විගමනික සේවක සුභසාධක අරමුදල මඟින් රුපියල් ලක්ෂ 66 කට අධික වන්දි මුදල් පිරිනැමීම සිදුකළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.
ශ්‍රමිකයින් 37 දෙනෙකු වෙනුවෙන් මෙහිදී වන්දි මුදල් පිරිනමන ලද අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වන්දි ප්රදානය සිදුකෙරිණි.
”විදේශ රැකියාවල නිරතවන ශ්‍රමිකයින් කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්යෙන් ලබාගත යුතුයි. ලියාපදිංචිය ලබා ගත්තොත් තමයි,රජයක් විදිහට ඒ ශ්‍රමිකයින් වෙනුවෙන් වග කියන්න පුළුවන් වෙන්නේ. ඇතැම් වෙලාවට විදේශ රැකියාවලදී නොයෙක් කරදරවලට ලක් වෙන්න සිද්ධ වෙනවා.
ශ්‍රී ලංකාව මිනිස් ජාවාරමේ යෙදෙන රටක් හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්ෂණයට ලක්වෙමින් තිබෙන්නේ. මේ නිසා බරපතල තත්වයක් ඇති වෙලා තියෙනවා.මේ තත්ත්වය අපි ඉක්මණින් වෙනස් කළ යුතුයි. අපි මැදි ආදායම් ලබන රටක් විදිහට අපේ රට සංවර්ධනය කරන්න ජාත්‍යන්තරයෙන් ණය ගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තත්වය මත අපි බොහොම වගකීමෙන් වැඩකරන්න අවශ්යයියැයි අදහස් දක්වමින් අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
ලබාදුන් වන්දි මුදල් අතරට විදේශ රැකියාව අතරතුරදී සිදුවූ මරණ 16ක් සඳහා රුපියල් 4,050,000ද වෛද්‍යාධාර සඳහා ශ්‍රමිකයින් 18 දෙනෙකුට රු 2,425,000 ද යැපෙන්නන් සඳහා ශ්‍රමිකයින් තිදෙනෙකු වෙනුවෙන් පවුලේ ඥාතීන්ට රු 200,000 ද පිරිනමන ලදී. ඒ අනුව 2016 වර්ෂයේ මුල් කාර්තු දෙක තුළ විගමනික ශ්‍රමිකයින් 76 දෙනෙකු වෙනුවෙන් රුපියල් එක් කෝටි එකොලොස් ලක්ෂ හතලිස් දහසක මුදලක් වන්දි වශයෙන් පිරිනමා තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.