රුසියානුවන් වැඩි පිරිසක් නිසි ආයුකාලය සම්පූර්ණ කිරීමට පෙර මරණයට පත්වීමට ඇල්කොහොල් ප්‍රධාන හේතුවක් බවත්, ඊට ‘වොඩ්කා’ නමැති මත්පැන් මුල්තැනක් ගන්නා බවත් පර්යේෂණයකින් හෙලිවී ඇති බව බී.බී.සී.ය පවසයි.
ලොව ප්රමුඛ සෞඛ්‍ය ජර්නලයක් වන The Lancet මෙම පර්යේෂණය දත්ත උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ රුසියානු පිරිමින්ගෙන් 25% ක් වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට පෙර මරණයට පත්වන බවයි. ඉන් වැඩි මරණ ප්‍රමාණයකට ඇල්කොහොල් හේතු වී ඇති බවත්, එය බ්‍රිතාන්‍යයේ දැකිය හැකි 7% ක මරණ සංඛ්‍යාව සමග සැසඳීමේදී විශාල වැඩිවීමක් බවත් කියැවෙයි.
මෙහිදී බොහෝ මරණවලට හේතුව මත්පැන් පානය නිසා අක්මාව ආශ්රිත රෝග වැළඳීමත්, ඇල්කොහොල් විෂවීමත් බව එම පර්යේෂණය වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර, තවත් පිරිසක් මත්පැන් පානය කර රියපැදවීමෙන් හා ආරවුල්වලට පැටලීමෙන් මරණයට පත්වන බවද කියැවෙයි.
රුසියානු මාධ්‍ය පෙන්වාදෙන පරිදි මේ ආකාරයේ දැවැන්ත පර්යේෂණයක් එරට සිදුව තිබෙන්නේ ප්‍රථම වරටය.
මෙම පර්යේෂණය සඳහා මොස්කව් පිළිකා මධ්‍යස්ථානය, මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිකා පර්යේෂණ ඒජන්සිය එක්ව අති අතර, ඔවුන් රුසියාවේ ප්‍රධාන නගර තුනක පුරුෂයන් 151,000කගේ මත්පැන් පානයේ රටාවන් වසර දහයක් මුළුල්ලේ නිරීක්ෂණය කර මෙම පර්යේෂණ වාර්තාව නිකුත් කර ඇති බව කියැවෙයි.
මෙම කාලය තුළ ඔවුන් නිරීක්ෂණය කළ පුරුෂයන් 8,000ක් මරණයට පත්ව ඇත. එමෙන්ම, මත්පැන් පානය හේතුවෙන් මරණයට පත් තවත් පුද්ගලයන් 49,000කගේ පවුල්වල සමීපතමයන්ගේ අත්දැකීම්ද මෙම වාර්තාවට එකතු කර ඇත.
මෙම පර්යේෂණ අධ්‍යයනයේ සහකාර කතුවරයෙකු වන ඔක්ස්ෆර්ඩ් සරසවියේ මහාචාර්ය ශ්‍රීමත් රිචඩ් පෙටෝ පවසන්නේ පසුගිය දශක තුනක කාලය තුළ වරින්වර රුසියාව තුළ ඇල්කොහොල් භාවිතය සම්බන්ධයෙන් පැනවූ නීතිරීති හේතුවෙන් මත්පැන් පානයේ යම් අඩු වැඩිවීම් දක්නට ලැබුණත්, මේ තත්ත්වය තුළත් ‘වොඩ්කා’ නමැති මත්පැන් පානය නිසා රුසියානු පිරිමි අඩු වයසින් මරණයට පත්වීම වේගවත් වී ඇති බවයි.