රැකියා විරහිත ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහයට අදට (19දා) දින 07ක් ගතවුවත් කිසිදු බලධාරියෙකු සාකච්ඡාවක් ලබා දී නොමැති බව රැකියා විරහිත උපාධිධාරී ආයුරේවේද වෛද්‍යරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ මස 13 වන දින සිට බොරැල්ල ආයුර්වේද වටරවුමේදී මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ කළ බවද එම සංගමයේ උප සභාපති ආයුර්වේද වෛද්‍ය මලිත් රත්නවීර මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය රැකියා විරහිත උපාධිධාරී වෛද්‍යවරුන්ට රැකියා ලබාදීමට වැඩපිලිවෙළක් සකස් කළත්, ඒ සඳහා මුදල් අමාත්‍යාංශය කිසිදු සහයෝගයක් දක්වා නොමැති බවද හෙතෙම පවසා සිටියේය. මේ නිසා ඉදිරි දිනකදී මුදල් අමාත්‍යාංශයට රැකියා විරහිත උපාධිධාරීන් 700 දෙනාම පාගමනින් ගොස් අදාළ ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.