පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කළ බවට විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් අද (21) දිනයේදී කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කල අතර එම නඩුවට ඇප ලබා ගැනීම සඳහා අධිකරණයට රැගෙන විත් සිටි විත්තිකරුවන් තිදෙනෙකුට ඒ අවස්ථාවේදීම අධිචෝදනා පත්‍ර බාර දෙනු ලැබීය.
මෙලෙස අධිචෝදනා පත්‍ර බාරදුන් විත්තිකරුවන් තිදෙනා නඩුව විභාග කොට අවසන් වනතුරු රිමාන්ඞ් බාරයට පත්කළ කොළඹ මහාධිකරන විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් සිව්දෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කළේය. මෙලෙස අධිචෝදනා බාරදෙන ලද්දේ ප්‍රසාද් චන්දන කුමාර, ගාමිණි කුමාර සහ ප්‍රදීප් චාමින්ද නමැති නාවික හමුදා නිලධාරීන් තිදෙනාටය.
ඔවුන් තිදෙනාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින සෙසු විත්තිකරුවන් වන්නේ පලන්සාමි සුරේෂ්, සිවකාන්තන් විවේකානන්දන් හෙවත් කරන් සේදියන් වොයිස්ටන් සහ සම්පත් මුණසිංහ නමැත්තන්ය.
2006 නොවැම්බර් මස 09 වැනිදාත් 10 වැනිදාත් අතර කාලය තුළ පාර්ලිමෙන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රවිරාජ් මහතා සහ ඔහු සමඟ ගමන්ගත් ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් කොස්තාපල් ලොකුවැල්ල මොරගේ ලක්ෂමන් මහතාට වෙඩි තබා ඝාතනය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.