රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මිලට මෝටර් රථ ගෙන්වීමේ ක්‍රමවේදය සංශෝධනය කරමින්, සහනදායී මිලට මෝටර් රථ ගෙන්වීමේදී උපරිම මිල ඇ.ඩො.30,000 ට සීමා කර, එයට 50%ක බදු සහනයක් ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි.
මේ යටතේ, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, වෛද්‍යවරු, නීතීඥවරු, විශ්වවිද්‍යාල කුලපතිවරු, ආචාර්යවරු, අනධ්‍යයන කාර්ය මණ්ඩල විධායක ශ්‍රේණියේ නිලධාරීන්, සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමිකමට ඇතුළත් වේ. නව චක්‍රලේඛය යටතේ අදාළ නිලධාරීන්ගේ සේවා කාලය සලකා බලපත්‍ර ලබාදෙන අතර, එය රාජ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වසර 6 කි. රාජ්‍ය සංස්ථා සහ ව්‍යාවස්ථාපිත ආයතන සඳහා මෙම කාලය වෙනස් වන බවද පෙන්වා දෙයි.
එහිදී, නිලධාරියකුට ලබාගත හැකි උපරිම බලපත්‍ර සංඛ්‍යාව 02ක් වන අතර, ප්‍රථම බලපත්‍රය නියමිත කාලය තුළ ලබාගත් පසුව දෙවැනි බලපත්‍රයේ හිමිකම පළමු වැනි බලපත්‍රය ලබා වසර 10කට පසු හිමිවන බවද කියයි. මෙම චක්‍ර ලේඛයට සමගාමීව රාජ්‍ය පරිපාලන 22/99 චක්‍ර ලේඛයද ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ විශ්‍රාම යන අවස්ථාවේ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරීන් සඳහා සහනදායී බලපත්‍ර නිකුත් කෙරෙන බවද අමාත්‍යාංශය පවසයි.
සහනදායී පදනම මත ලබාදෙන මෝටර් රථ බලපත්‍රයේ වටිනාකම ඇ.ඩො. 30,000 කි. ඒ සඳහා ගෙවිය යුතු මුළු බද්දෙන් 50% ක බදු සහනයක් හිමිවේ. රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන් සඳහා සහනදායී පදනම මත මීට පෙර මෝටර් රථ බලපත්‍ර දෙකක් හෝ ඊට වැඩි ගණනක් ලබාගෙන ඇත්නම් එම නිලධාරීන්ට මෙම අවස්ථාව හිමි නොවනු ඇති බවද පෙන්වා දෙයි.
රජය විසින් 2010 වර්ෂයේ සිට රාජ්‍ය සේවකයන් වෙත මෙතෙක් ලබාදී ඇති නිදහස් බලපත්‍ර ගණන 38,000ක් ඉක්මවන අතර, ඒ වෙනුවෙන් ලබාදී ඇති බදු සහනවල වටිනාකම රු.බිලියන 143ක් පමණ ඉක්මවන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
මීට අදාළ චක්‍රලේඛය www.treasury.gov.lk මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ චක්‍රලේඛ යටතේ ඇති වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛයක් ලෙස ඩවුන්ලෝඩ් කරගත හැකි බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.