මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන විට එම ව්‍යාපෘතියේ යම් අයිතියක් උතුරු පළාත් සභාවටද ලබාදිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා කියා සිටියේය.
මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප්රතිලාභ පිළිබඳව උතුරේ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට ඊයේ (26 දා) ජපානයේ ජයිකා ආයතනයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් විසින් යාපනයේ වාරිමාර්ග ශ්‍රවණාගාරයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත.
උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී කියා සිටියේ එම යෝජනාව ඉදිරිපත් කළ ප්‍රධාන අමාත්‍යවරයා මධ්‍යම රජය උතුරු පළාත් සභාව සමග ගිවිසුමකටද අත්සන් කළ යුතු බවටද ඉල්ලීමක් කළ බවයි.
‘ ප්‍රධාන අමාත්‍යවරයා එම ඉල්ලීම් කිරීමට හේතුව වූයේ මධ්‍යම රජයට පමණක් මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට හැරවීමේ තනි අයිතිය තිබුණහොත් දකුණේ ජනතාව උතුරේ පදිංචි කරමින් නව ජනපද ව්‍යාපාර ඇති කිරීමට රජය කටයුතු කිරීම නිසා යැයිද ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවසීය.
එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් එය උතුරු පළාත් සභාවට විශාල ප්‍රශ්නයක් ඇති කෙරෙන බව මෙහිදී ප්‍රධාන අමත්‍යවරයා ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන්ට පෙන්වාදී තිබේ.
මහවැලි ජලය උතුරට ලබාදීම සම්බන්ධයෙන් තමන් ඉතාම සතුටට පත්වන බවත් ඒ පිළිබඳව තමන්ගේ හෝ උතුරු පළාත් සභාවේ කිසිදු විරෝධයක් නොමැති බවත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ.
මෙහිදී ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජයිකා නියෝජිතයන් ප්‍රධාන අමාත්‍යවරයාට පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ දේශපාලන ගැටලුවලට තමන්ට මැදිහත්විය නොහැකි නිසා ඒ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කොට යම් තීරණයකට එළඹෙන ලෙසටයි.
උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු උතුරු පළාත් සභාවේ මැති ඇමතිවරු පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.