ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නාවිකයින්ට ස්විස්ටර්ලන්ත ධජය සහිත නෞකාවල සේවය කිරීමේ අවස්ථාව උදා වන බව වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා පැවසීය.
ඒ සඳහා වූ ද්විපාර්ශික අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති හෙයින්ස් වෝකර් නෙයිඩර්කෝන් (Heinz Walker - Nederkoon) මහතා විසින් සිදු කෙරිණ. වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණය යටතේ එම ගිවිසුම අත්සන් කෙරිණු අතර නාවික විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර අත්සන් කෙරුණු පළමු ගිවිසුමද මෙය වේ.
වෙළඳ නාවිකයන් පුහුණු කිරීම්, සහතික කිරීම් සහ මුරකාවලයෙහි යෙදීමේ ප්රමිතීන් හඳුන්වා දෙන්නේ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයයි. ශ්‍රී ලංකාවද ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ පාර්ශ්වකරුවකු වේ. ඒ අනුව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ සම්මුතීන් ශ්‍රී ලංකාවේදී ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරෙන්නේ වරාය සහ නාවික අමාත්‍යාංශය යටතේ පාලනය වන වෙළඳ නාවික ලේකම් කාර්යාලයටය.
මෙම ගිවිසුම හේතුවෙන් ඉදිරියේදී ස්විට්සර්ලන්ත ධජය සහිත නෞකාවල සේවය කිරීමෙන් රටට විදේශ විනිමය උපයා ගැනීමේ අවස්ථාව උදාවනු ඇතිබවද වරාය සහ නාවික අමාත්‍යාංශය පැවසීය.