එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සම අනුග්‍රහය දක්වන මෙන් කිසිවෙකු බලපෑමක් නොකළ බවත්, ඊට අනුග්‍රහය දැක්වූයේ සියලු ශ්‍රී ලංකාවාසීන්ගේ මානව හිමිකම් සුරැකීමේ අරමුණින් බවත් මුරුසි විදේශ අමාත්‍ය අර්වින් බූලෙල් පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සම්බන්ධයෙන් යළිත් පූර්ණ විමර්ශනයක් කොට ලබන වසරේ මාර්තු මාසයේදී මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන මෙන් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, මොන්ටිනීග්‍රෝව, මැසිඩෝනියාව සහ මුරුසි දූපතේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කිරීමට යෝජිත මූලික කෙටුම්පතේ දැක්වෙන බව බී.බී.සී.ය පවසයි.
"ඇතැම් සාධනීය පියවර අර ගෙන තිබෙන බව අපි පැහැදිලිවම පිළිගන්නවා. නමුත් තවත් බොහෝ දේ කිරීමට ඇති බව යථාර්ථයයි" යනුවෙන් විදේශ අමාත්‍ය අර්වින් බූලෙල් සඳහන් කර තිබේ.
"රටේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, සංහිඳියාව ඇති කිරීම වගේම සුළු ජාතීන් ඇතුළු රටේ සියලුම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වගේ අංශවල බොහෝ දේ කළ යුතුව තිබෙනවා."
යෝජනා කෙටුම්පත ඉදිරියේදී සංශෝධනය විය හැකි බවද මුරුසි විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇති බව බී.බී.සී.ය පවසයි.
පසුගිය නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවද වර්ජනය කළ මුරුසිය, 2015 දී රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමද ප්‍රතික්ෂේප කර තිබිණි.