එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා මණ්ඩලයේදී වඩාත් තීරණාත්මක සංවාදය ඇති වුණේ කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් එස්.එම්. මරික්කාර් මහතාගේ නම ඉදිරිපත් කරනවාද නැද්ද යන කාරණයේදීය. මරික්කාර් සිරස එෆ්.එම්. සේවයේ හිටපු ප්රධානියාය. මේ සම්බන්ධයෙන් මුල සිටම රවි කරුණානායක මහතා දැඩි විරෝධයක් ඉදිරිපත් කළේය. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වූයේ මරික්කාර් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කළ යුතු බවය. මරික්කාර්ගේ පැමිණීම හරහා තරුණ ඡන්ද ලබා ගැනීමේ හැකියාවක් තිබෙන බව පක්ෂ නායකයාගේ අදහස විය.
එහෙත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස රවි කරුණානායක මහතා දිගින් දිගටම විරෝධතාව පළ කළේය. මේ අවස්ථාවේ දී උණුසුම් වචන හුවමාරු සිදුවූ අතර එ.ජා.ප. නායකයා තම ස්ථාවරයේම සිටියේය. ඔහු අවසානයේ පැවසුවේ අනෙකුත් දිස්ත්‍රික්කවල නාම යෝජනා සම්බන්ධයෙන් තමන් අතපෙවීමක් නොකළද තමන් නියෝජනය කරන දිස්ත්‍රිකයේ නාමයෝජනා සම්බන්ධයෙන් තමන්ටත් අයිතියක් ඇති බවයි. අවසානයේ රවි කරුණානායක මහතා නාමයෝජනා මණ්ඩලයෙන් ඉවත්ව ගියේ තම විරෝධය පළ කරමිනි. ඒ පසුගිය සඳුදා රාත්‍රියේය. මරික්කාර් හට නාමයෝජනා ලබා දීමට රවි කරුණානායක මහතා විරුද්ධ වීම නිසා සහ ඔහු එහිදී ඉදිරිපත් කළ හේතු නිසා නාමයෝජනා මණ්ඩලය හමුවට මරික්කාර් කැඳවා ඔහුට එල්ලවන චෝදනා පිළිබඳව අදහස් විමසීම පසුදින සිදුවිය. එදින රවි කරුණානායක මහතා නාමයෝජනා මණ්ඩලයට පැමිණියේ නැත. මෙහිදී මූලික ප්රශ්නය වූයේ සිරස මාධ්‍ය ජාලය එ.ජා.ප. නායකත්වයට විරුද්ධව එල්ල කරන චෝදනා අනුව අනාගතයේ දී මරික්කාර් පක්ෂයට එරෙහි වෙයිද යන්නය. එහිදී ඔහු ලබා දුන් පිළිතුරුවලට නාමයෝජනා මණ්ඩලයේ සිටි පිරිසගේ වැඩි කැමැත්ත ලැබුණි.
එහෙත් රවි කරුණානායක මහතා අකමැත්ත පළ කළ අනෙක් අපේක්ෂකයා වූ කොළඹ පුරපති ඒ.ජේ. එම්. මුසාම්මිල් මහතාගේ බිරිඳ වූ ෆෙරෝසා මුසාමිල් මහත්මියට නාමයෝජනා නොදීමට නාමයෝජනා මණ්ඩලය එකඟ විය. එහිදී ඔවුන්ගේ අදහස වූයේ රවි කරුණානායක මහතාගේ විරෝධයට ඉඩ දිය යුතු බවයි. කෙසේ වුවද මේ තෝරා ගැනීම් හරහා ඇති වූ සිත්රිදීම රවි කරුණානායක මහතා නාමයෝජනා මණ්ඩලයෙන් ඉවත් වීමට හේතු විය. එහෙත් ඔහු ඉවත්වීම ප්‍රකාශ කරන විට නාම යෝජනා ලැයිස්තු සකස්කර අවසන්ව තිබුණි. කෙසේ වුවද සඳුදා දිනයෙන් පසු රවි කරුණානායක මහතා නාමයෝජනා මණ්ඩලයට පැමිණ තිබුණේ නැත