චීන රජයේ ආධාර ඇතිව ඉදිකිරීමට සූදානම් වන ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවක් වෙනුවෙන් බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල යොදාගැනීමට රජයේ අදහසක් ඇති බැවින් එහි රඳවා සිටින සිරකරුවන් සියලු දෙනා අද (06දා) සහ හෙට (07දා) දිනය ඇතුළතදී ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බෝගම්බර බන්ධනාගාරයේ සිටින 1300ක් වූ සිරකරුවන්ගෙන් කොටසක් පසුගිය දින කිහිපයේදී වෙනත් බන්ධනාගාරවලට පිටත් කර යැවූ බවත්, ඉතිරි 510 ක් වන පිරිසද වැලිකඩ, මහර, මැගසින් ආදී බන්ධනාගාරවලට මාරු කර යවන බවත් බන්ධනාගාර කොමසාරිස් චන්ද්‍රරත්න පල්ලෙගම මහතා සඳහන් කළේය.
බෝගම්බර බන්ධනාගාරය තුළ 9 වැනිදා රාත්රියේදී පිරිත් සජ්ඣායනයක්ද, 10 වැනිදා සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වෙන අතර ඉන්පසු සති 02 ක කාලයක් මහජනතාවට එය විවෘතව තබන බවත් පල්ලෙගම මහතා සඳහන් කළේය. එම කාලය තුළදී විශේෂ අවසරයකින් තොරව බෝගම්බර බන්ධනාගාරය නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමිවන බවද ඔහු පැවසීය.
සිරකරුවන් ඉවත් කිරීමේ තීරණයට රජය එළඹියේ අක්කර 4 ක් පමණ වන බෝගම්බර බන්ධනාගර භූමියේ ඇති වාණිජමය වටිනාකම සලකා බලා යැයි කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.
එසේම ශ්‍රී දළදා මාළිගය ඉදිරිපිට බන්ධනාගාරය පිහිටා තිබීමත්, එල්ලුම් ගහ එහි පැවතීම පිළිබඳව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා කළ ඉල්ලීමක්ද සලකා බලා රජය මෙම තීරණයට එළඹි බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.