(VIDEO - සංස්කරණය නොකළ දර්ශන)
කහටගස්දිගිලිය නගරයේ යතුරුපැදියකින් ගමන් ගත් ආබාධිත පුද්ගලයෙකුට කහටගස්දිගිලිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු විසින් ඊයේ (22දා) උදෑසන බිම පෙරළාගෙන පහරදීමේ සිදුවීමක් වාර්තා වේ.
සිද්ධිය වාර්තා වන අන්දමට එක් පාදයක් නොමැති මෙම ආබාධිත පුද්ගලයා යතුරුපැදියකින් කහටගස්දිගිලිය නගරය වෙත පැමිණ ඇති අතර, ඔහුට යතුරුපැදිය නවතන ලෙස රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අණකර තිබේ.
එහෙත් එම අණ නොතකා යතුරුපැදිය ධාවනය කළ එම පුද්ගලයා කහටගස්දිගිලිය ප්රධාන බස්නැවතුම අසලදී එම පොලිස් නිලධාරියෙකු විසින් අල්ලාගෙන මෙම පහර දීම සිදුකර ඇත. පහරදෙන අවස්ථාවේ ඔහු පැලඳ සිටි කෘතිම ගැලවී ගොස් ඔහුව පදික වේදිකාවට ඇද වැටී තිබේ.
මෙම සිද්ධිය දුටු බොහෝ පිරිසක් කියා සිටියේ, රථවාහන වැරැද්දක් සිදුකළ ආබාධිතයෙකුට මෙසේ අමානුෂිකව පහරදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කහටගස්දිගිලිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රන්වලආරච්ච් මහතා පවසා සිටියේ, එවැනි බරපතළ සිද්ධියක් පිළිබඳව තමන් දැන නොසිටි බවයි. එහෙත් බීමතින් යතුරුපැදියක පැමිණි පුද්ගලයෙකු පොලිස් අණ නොතකා ධාවනය කළ අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම පුද්ගලයා පොලිස් නිලධාරීන් සපාකමින් පහරදීමක් සිදුකර ඇති බව තමන්ට වාර්තා වූ බවත් ඒ මහතා සඳහන් කළේය. අදාළ සැකකරු බීමතින් රිය පැදවීමේ චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කළ බවද ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
VIDEO