පානීය ජල බෝතල්වල මිල සහ ප්‍රමිතිය පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මතුව ඇති පානීය ජල ගැටලුව හමුවේ ඇතැම් ව්‍යාපාරිකයන් විසින් ප්‍රමිතියෙන් තොරව සහ අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවි කිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබේ.
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (05දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
වියළි කාලගුණික තත්ත්වය මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 09කට පමණ බලපා ඇති අතර කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, අනුරාධපුරය, මහනුවර, මන්නාරම, යාපනය, වව්නියාව යන දිස්ති‍්‍රක්කවල පවුල් 143,235ක් පමණ ඉන් පීඩාවට පත්ව සිටී.
ජලය ලබාගත හැකි මූලාශ්රයන් ප්‍රමාණාත්මකව සීමා සහිත වීම සහ ඒවායේ ජලධාරිතාවන් අවම මට්ටමක පැවතීම, වන සතුන්ගේ ජල අවශ්‍යතාවයන් සඳහා ප්‍රමාණවත් ජලය නොලැබීම සහ වන සතුන්ගෙන් ජනතාවට හා දේපොළවලට සිදුවන හානි වැඩිවීම, විදුලි උත්පාදනය සඳහා වන බලපෑම, ආහාර සුරක්ෂිතතාවයට ඇතිවිය හැකි බලපෑම් යන කරුණු කෙරෙහිද මෙහිදී අවධානය යොමු කෙරිණි.
අදාළ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති නළ ළිං අලුත්වැඩියා කිරීම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම පිළිබඳ ගොවි සංවිධාන හරහා ගොවි ජනතාව දැනුවත් කිරීම වැනි කෙටිකාලීන වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.