බස්නාහිර සහ දකුණ පළාත් සභාවන් විසිරුවා හැර ඇති බැවින් එම පළාත්හි මහජන නියෝජිතයන් පරිහරණය කළ රජයේ වාහන ඇතුළු දේපළ හැකි ඉක්මනින් පළාත් සභාව වෙත නැවත බාරදීමට කටයුතු කරන මෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය ප්‍රසිද්ධ ඉල්ලීමක් කරයි.
පළාත් සභාව සතු දේපළ පරිහරණය කළ මහජන නියෝජිතයන් වෙත විවෘත ආයාචනයක් මගින් කැෆේ සංවිධානය ඉල්ලා සිටින්නේ පළාත් සභාවන් දෙක සතු මහජන දේපළ විශාල ප්‍රමාණයක් මහජන නියෝජිතයන්ගේ සහ ඔවුන්ගේ කාර්යමණ්ඩලයේ පරිහරණය සඳහා නිදහස් කොට තිබූ බවයි. මේ අතර රථ වාහන, නිල වාහන, පළාත් සභාව සහ මධ්‍යම රජය සතු නිවාස, ගොඩනැගිලි, කාර්යාල ඉඩම්, සහ වෙනත් සම්පත්ද වේ. මහජන නියෝජිතයන් වෙත ලබාදී තිබූ මහජන දේපළ ඔවුන්ගේ ධූර කාලය අවසන්වීමෙන් පසුව නැවත බාරදීමේ වගකීම ඔවුන් සතු බව කැෆේ සංවිධානය වැඩිදුරටත් පවසයි.