පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ පමණින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඇති බව පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිය එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
එක්සත් ජාතික පක්ෂයේ තම සාමාජිකත්වය අහෝසි කිරීම වළකාලන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් තිස්ස අත්තනායක මහතා ඒ බව දැනුම් දී ඇත.
එජාප නායක රනිල් වික්‍රමසිංහ, සභාපති මලික් සමරවික්‍රම, මහලේකම් කබීර් හෂීම් යන මහත්වරු තිස්ස අත්තනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කොට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ තම සාමාජිකත්වය අහෝසි කර ඇති බව පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මහතා දැනුම් දී ඇතැයිද, තමන්ට එරෙහිව චෝදනා පත්‍රයක් හෝ විභාගයක් නොපවත්වා එලෙස පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීම නීති විරෝධී යැයිද සඳහන් කරන පෙත්සම්කරු පක්ෂ සාමාජිකත්වය අහෝසි වූ පමණින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක සඳහන් වී ඇති බවද පෙන්වා දී ඇත.
මෙම තත්ත්වය මත තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන එජාප තීරණය වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්ද සිදුකර ඇත.