නොරොච්චෝල ගල්අඟුරු විදුලිබලාගාරය යථාතත්ත්වයට පත්කර ගැනීම සඳහා සියලු විධිවිධාන යොදන බවට එය ඉදිකළ චීන සමාගම සහතික වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
නොරොච්චෝල ගල්අඟුරු විදුලිබලාගාරය ඉදිකළ China Machinery Engineering Corporation (CMEC) සමාගමේ ප්‍රධානීන් හා එහි ඉදිකිරීම් සඳහා දායකවූ සෙසු සමාගම්වල නියෝජිතයන්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්රමුඛ අමාත්‍යංශ නිලධාරීන් හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අද (31දා) එම අමාත්‍යාංශයේදී හමුවී පැවැත්වූ සාකච්ඡාවේදී මෙම අදහස් පළ කර තිබේ.
ඒ අනුව මූලික වශයෙන් මෙරට ඉංජිනේරුවන්ගේ හා චීන ඉංජිනේරුවන්ගේ ඒකාබද්ධ ක්‍රියාවලියක් ලෙස, ප්‍රථමයෙන් බලාගාරය පූර්ණ නිරීක්ෂණයකට භාජනය කිරීමටත්, ක්ෂේත්රයේ විශේෂඥයන් මෙරටට ගෙන්වීමටත් පියවර ගන්නා බව CMEC සමාගමේ සභාපති ෂෑන් චුන් මහතා අමාත්‍යවරිය හමුවේ පැවසූ බව කියැවෙයි.
නොරොච්චෝල ගල්අඟුරු විදුලිබලාගාරය පුළුල් විමර්ශනයකින් අනතුරුව අලුත්වැඩියා කටයුතු සිදුකර විදුලිබලය නිපදවීම සඳහා හැකි උපරිමයෙන් ක්‍රියාකරන බවත්, බලාගාරයේ දෙවැනි අදියරද ඉහළ තත්ත්වයක් යටතේ විදුලිය ජනනය සඳහා යෙදවීමට පියවර ගන්නා බවත් ෂෑන් චුන් මහතා ඇතුළු පිරිස මෙහිදී අමාත්‍යවරිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවේ එකඟතාව පළකර ඇති බවත් වැඩිදුරටත් පැවසෙයි.
මෙම හමුවට, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.සී. ප්‍රදිනාන්දු, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී.ගනේගල, සාමාන්‍යාධිකාරී ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු, අමාත්‍යංශ අතිරේක ලේකම් ජේ.එම්.කේ.ජයසේකර, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී එම්.සී.වික්‍රමසේකර, චීනයේ CMEC සමාගමේ උප සභාපති ලි චාඕ යංග් යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටි බව කියැවෙයි.