නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය හම්බේගමුව ප්‍රදේශයේ වෙසෙන පවුල් 3000 ක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් පෙරේදා (16) යොදවූ බව නාවික හමුදා මාධ්‍ය ඒකකය කියයි.
ගංගා සහ වැව් ආශ්රයෙන් ලබා ගන්නා ජලය පිරිසිදු කර මහජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා ලබාදීමට හැකිවීම මෙම ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයේ විශේෂත්වය බව නාවික හමුදාව කියයි. මෙහි ධාරිතාවය ලීටර් 10,000 ක් වන බවත් ඒ හරහා හම්බේගමුව ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට හැකි බවත් එම නිවේදනයේ වෙයි.
නාවික හමුදාධිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි සති කීපය ඇතුළත මෙවැනි ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 5ක් පමණ වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් ලබාදීමට කටයුතු කරමින් පවතින බවත් නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ තවත් ඉදිරි පියවරක් ලෙස සූර්යය බල ශක්තිය මගින් ක්‍රියා කරන ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් සහ මුහුදු ජලය පිරිසිදු පානීය ජලය බවට පත්කළ හැකි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ඉතා කෙටි කාල සීමාවකින් මහජනාවගේ ප්‍රයෝජනය සඳහා යෙදවීමට කටයුතු සිදු කරමින් සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් වෙයි.